සිංගප්පූරු ගිවිසුමේ කොළේ වහලා ගහපු ගැසට් එක එළියට
Posted on August 11th, 2018

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව අංක 2069/2-2018 මැයි මස 1දා අඟහරුවාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය, පාර්ලිමේන්තුවටත් නොදන්වා කොළය වසා නිකුත් කර තිබෙන නීති විරෝධී ගැසට් නිවේදනයක් වන හෙයින් එය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙත්සමත් ගොනු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

මෙම ගැසට් නිවේදනයේ වැදගත්ම කොටස වසා වෙනම යෝජනාවක් මුද්‍රණය කර ගැසට් නිවේදනයේ මතුපිටින් අලවා තිබෙන බවත් මේ ආකාරයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක වැදගත්ම කොටස වසා කොළයක් ඇලවීම බරපතළ කරුණක් බවත් මෙමඟින් සිදුකර ඇත්තේ සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ බරපතළකම යට ගැසීම බවත් ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා “මව්බිම”ට ප්‍රකාශ කළේය.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් නිවේදනය මතුපිට මුද්‍රණය කරන ලද කඩදාසියක් අලුතෙන් අලවා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එමඟින් පාර්ලිමේන්තුව නොමඟ යවා තිබෙන බවත් ඒ අනුව වහාම මෙම අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නුමුහුන් අභිජනන සතුන්, බූරුවන්, වානරයන්, තල්මසුන්, ඩොල්ෆින් මසුන්, සීල් මසුන්, මුහුදු සිංහයන්, දළ ඇතුන් හැර අලින්, හාවුන්, උරගයන් හා උකුසු වර්ග ඇතුළු වනජීවීන්, ශාක සම්පත් ඇතුළු සමස්ත රටේ සම්පත් සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ බදුවලින් නිදහස් කර තිබීම බරපතළ කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

වසර 100ක් පැරණි පුරාවස්තුද මෙම ගිවිසුම හරහා තීරු බදුවලින් නිදහස් කර තිබීම තවත් ඉතා බරපතළ කාරණයක් බවත් හිරිගල්, මුතු බෙල්ලන් ඇතුළුව ඉදිකටුවේ සිට මුළු රටේම ස්වාභාවික සම්පත්ද ඇතුළුව මුළු රටම මෙම සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් පාවාදී තිබෙන බවත් කොළේ වසා ගැසූ ගැසට් නිවේදනයෙන් ඒ බව හෙළිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙසේ ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්ත මුළුමනින්ම කඩා වැටෙන බවත් මෙරට වෘත්තිකයන්ගේ පැවැත්මට බරපතළ අභියෝගයක් මේ මඟින් එල්ල වන බවත් ඊට අමතරව තවත් බරපතළ කරුණු රැසක් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් වී තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

භාණ්ඩ වර්ග 3539ක් මෙම අති විශේෂ ගැසට් නිවේදනයට ඇතුළත් වී තිබෙන බවත් මෙම ගැසට් නිවේදනය පිළිබඳව නීති උපදෙස් ලබාගනිමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress