එජාපය අද බලයේ ඉන්නේ ශ්‍රී ලනිපය මුක්කු ගහපු නිසයි
Posted on October 5th, 2018

කැලණිය – කුසුම් එස්. හැන්නදි,ගම්පහ – දොන් විතානආරච්චි,ගම්පහ – කේ.ඒ. සිසිර කුමාර උපුටාගැණීම  මව්බිම

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් ගෙනියන්න බලයක් කිසිසේත්ම නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවට මුක්කු ගහපු නිසයි අද ඔවුන් බලයේ ඉන්නේ. දැන් රටේ පවතින බැරෑරුම් තත්ත්වයන් ගැන ජනාධිපතිවරයාට අවබෝධයක් තිබේ නම් එතුමා වහාම මේ ආණ්ඩුවට ගැසූ මුක්කුව ගලවා දැමිය යුතුයි. එය එසේ නොකර බලා සිටීමෙන් මාතෘ භූමිය දිනෙන් දින අගාධයට ඇදවැටෙන බව ජනාධිපතිවරයා අවබෝධ කර ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පෙරේදා (03දා) ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගලහිටියාව උප කාර්යාලයේදී පැවැසීය.

රුපියල් එක්කෝටි නව ලක්‍ෂයක වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද මහින්ද රාජපක්‍ෂ මහජන පුස්තකාලය මහජන අයිතියට පැවැරීමේ උත්සවයට පැමිණි ජනතාව අමතමින් වැඩිදුරටත් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘මේ වන විට රටේ සිද්ධ වෙන කනගාටුදායක සිදුවීම් ගැන හිතනකොට මේවා බුද්ධාගමට පමණක් සිදු කරන කෙනෙහිලිකම් නොව අනෙකුත් සෑම ආගමටම රනිල් ඇතුළු කණ්ඩායම කෙනෙහිලිකම් කරන බව ඉතාම හොඳින් රටේ පුරවැසියන්ට අවබෝධ වෙනවා.

පසුගිය දවසක කතෝලික ජනතාවගේ මෙන්ම රටේ සෑම පුරවැසියකුගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රවන අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවැසූ අහිංසක අදහසට රනිල්ගේ කණ්ඩායම කොයිතරම් බරපතළ වචනවලින් පහර දුන්නද? විවේචනය කළාද? ආගමික නායකයකුගේ අහිංසක ප්‍රකාශයට මේ තරම් ප්‍රහාර එල්ල කරන්න තරම් අද ඔවුන් බලගතු වෙලා.

අද පන්සලක් දහම් පාසලක් හදන්නත් අන්‍යාගමිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් අවසර ගන්න වෙලා. හැබැයි පුරාවිද්‍යා වටිනාකම් ඇති පන්සල් ඩෝසර් කරලා නිවාස ව්‍යාපෘති හදන්න මේ අය කාගෙවත්ම අවසර ගන්නේ නෑ. මේක පුරාවස්තු විනාශ කරලා ගෙවල් හදන ආණ්ඩුවක්.

මේ විනාශ වෙන්නේ රටේ ඉතිහාසය, සංස්කෘතිය නේද කියලා ඔවුන්ට වගක් නැහැ. නමුත් පුරවැසියන් වශයෙන් ඔබලා අපි ඒ ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. එක් පැත්තකින් රටේ ආර්ථිකය කඩාවැටිලා. රුපියල බාල්දු වෙලා පාවෙනවා. මහින්දගේ ණය නිසාලු රුපියල බාල්දු වුණේ. මේක තමයි මේ ආණ්ඩුව බලයට ආපුදා පටන් වැඩියෙන්ම කියපු දේ. අපේ ආණ්ඩුව කාලෙත් ඩොලරය ශක්තිමත් වුණා. ලෝකේ අනෙක් රටවල් වගේම ආසියාවේ රටවලත් ආර්ථිකය කඩාවැටෙද්දී අපි කෙළින් හිටියා.

මේ වසර තුනට මං ගත්තා වගේ දෙගුණයක් මේගොල්ලෝ ණය අරන්. ඒත් කරපු කිසි දෙයක් නෑ. කරපු එකම දේ අපි හදපුවා ගිහින් ඒගොල්ලන්ගේ වගේ විවෘත කරපු එක විතරයි. දක්‍ෂයි රටේ සම්පත් විදෙස් රටවලට විකුණන්න. පිටරටවල කුණු අපේ රටේ දාන්න අවසර දෙන්න ගිවිසුම් ගහනවා.

දසදහස් ගණනක් රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරලා නිදහස් කරලා දුන්න මාතෘ භූමිය මේ අය හදන්නේ කුණු ගොඩක් කරන්න.

ජීවන වියදම ජෙට් එක වගේ ඉහළ ගිහින්. ලෝකෙට ණය වෙලා බැංකු කඩාවැටෙන තත්ත්වයක් අනාගතයේදී උදා වෙනවා. එතෙක් අපි බලා සිටිය යුතු නැහැ. ඉදිරිය ඉතාම භයානකයි. සිද්ධ වෙන්න යන විනාශයෙන් රට බේරා ගැනීමට නිසි පියවර ගන්න කියන එකයි මගේ එකම ඉල්ලීම.’

 

One Response to “එජාපය අද බලයේ ඉන්නේ ශ්‍රී ලනිපය මුක්කු ගහපු නිසයි”

  1. Randeniyage Says:

    “එජාපය අද බලයේ ඉන්නේ ශ්‍රී ලනිපය මුක්කු ගහපු නිසයි”. Not true. If true , he himself is the main Mukkuwa. He lost power because of stupid work buy those who surrounded him.
    Why did he allow Ranil to be appointed PM when his legitimate government was still in power regardless of loosing his president post ? He did not give the leadership to his ministers to force the new president to run the government but ran away.
    The rest is true, the statements below the photo.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress