ටී-56 අරන් පාරට බැස්ස පොලිසියේ පරණම සාජන් මහත්තයා
Posted on October 6th, 2018

පයාගල – සුජිත් මාරියෝ   උපුටාගැණීම  මව්බිම

ඒ මෙරට ආරක්ෂක අංශ හා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යුද වැදුණු සමයයි. එදා 1990 වසරේ ජුනි මස 13දායි. ඔඩ්ඩුසුඩාන් පොලිසියට ප්‍රහාරයක් එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් එහි සිටි පොලිස් නිලධාරීහු 44 දෙනකු අත්අඩංගුවට ගත්හ.

ඔවුන්ගේ අත් හා පාවලට මාංචු දමා දම්වැල්වලින් බැඳ පොළොවේ හාරන ලද විශාල වළවල් තුළ දමා දස වධ දෙමින් තබා ගත් අතර ඔවුන්ට දිනකට පානය කිරීම සඳහා ජලය ලබාදී ඇත්තේ කුඩා වීදුරුවකින් එකකි. ආහාර ලබාදී ඇත්තේ දිනකට එක් වේලකි.

මෙසේ සිටි ඔවුහු තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ආහාර නොගෙන ජලය පමණක් පානය කරමින් උපවාසයක් ආරම්භ කළහ. එලෙස උපවාසය කළ ඔවුන් කොටි ත්‍රස්තවාදීන් විසින් යාපනයේ සුභාෂ් හෝටලයට ගෙන එන ලදී. දින 19ක් තිස්සේ උපවාසයක නිරත වූ ඔවුහු පසුව ජලය පානය කිරීමද අත්හැරියහ.

උපවාස කළ පිරිස අතරෙන් 6 දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය විය. සුදුවන්තුවගේ සනත් ගුණවර්ධන (492) නම් වූ පොලිස් නිලධාරියකු ඒ අතරෙන් එක් අයෙකි. ඔහුට ජලය පානය කිරීම පවා අපහසු වූ බව අප සමඟ පැවැසුවේ ඔහු සමඟ කොටි වධකාගාරයේ සිට නිදහස්ව ආ දැනට මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක යූ. අමරසිංහ මහතාය.
කෙසේ හෝ ඊට වසර 4 මාස 3කට පසුව මොවුන්ට වරින්වර නිදහස ලැබිණි. රතු කුරුස සංගමයට භාර දෙනු ලැබූ මොවුන් පළමුව කන්කසන්තුරයටද ඉන්පසු වැල්වැටිතුරේටද ගෙන එනු ලැබූ අතර ඉන්පසු පලාලි සිට ගුවනින් රත්මලානට එවිණි.

සනත් ගුණවර්ධන නම් වූ පොලිස් නිලධාරියා කළුතර පොලිස් අධිකාරි කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටියදී කිසියම් සිද්ධියකට මුහුණ දුන්නේය.

කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදුවූ කලබලකාරී සිද්ධියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙක් මිය ගියේය. තමා වෙඩි තැබීමට අණ නුදුන් බව පොලිස් අධිකාරිවරයා කියා සිටියදී නඩු පැවරුණේ නිලධාරීන්ට එරෙහිවය. එම නඩුව තවමත් කළුතර මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මෙම නඩු කටයුතු නිසා ඔහුට උසස්වීම් නොලැබිණි. සහෝදර පොලිස් නිලධාරීන් පවසන ආකාරයට අද දිවයිනේ සිටින පැරැණිම පොලිස් සැරයන්වරයා ඔහුය.

තෙබුවන පොලිසියට අනුයුක්ත සනත් ගුණවර්ධන සාජන් මහත්තයා ගැන කොයි කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ ඉකුත් 3දා සිටය.

ඔහු පවසන ආකාරයට බලපත්‍ර රෙගුලාසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් ඔහු අත්අඩංගුවට ගත්තේය.

අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුවද සිදුවූයේ අනෙකකි. උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත එම සැකකරුවන් පොලිසිය විසින් මුදා හරිනු ලැබ තිබිණි.
තෙබුවන පොලිසියට අදාළ මේ නඩුව මතුගම අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණේ 3දාය.

තමා අත්අඩංගුවට ගත් වැලි ටිපරය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව තේරුම් ගත් සනත් ගුණවර්ධන සාජන් මහත්තයා ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීය.
ඔහු අධිකරණයට ඉදිරිපත්

නොකළහොත් වෙඩි තබා ගන්නා බව කියමින් ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 30ක් පිරවූ පතරොම් තුවක්කුද සමඟ ඔහු පොලිසියෙන් පිටතට ආවේය.
චිත්‍රපට රූගත කිරීමක් වැනි වූ ඊළඟ දර්ශන පෙළ දැක ගත හැකි වූයේ ඉන්පසුවය.

ගිනි අවියක් අතැතිව නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියකු පාරේ සිටීම අරුමයක් නොවුණද තෙබුවන හන්දියේ ගිනි අවිය සමඟ සිටින මොහු ප්‍රදේශයම භීතියට පත් කළේය.
“ඕක පැත්තකින් තියලා එමු” යැයි සහෝදර නිලධාරීන් නොයෙක් ඇවටිලි කළද ඔහු ඊට එකඟ නොවීය.

පසුව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාද ඔහු ඉදිරියට ගියේය.

“මම ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා. වෙපන් එක තියලා සාකච්ඡා කරමු” යැයි පොලිස් අධිකාරිවරයා කීය.

“මට අසාධාරණයක් වුණා. මම අල්ලපු වැලි ලොරිය නිදහස් කළා. මම ආපසු එන්නේ එයාව උසාවියට දමලා අදාළ පත්‍රිකාව මට පෙන්වූ පසුවයි” ඔහු කීය.
මෙම පුවත සැලවී එහි පැමිණි ඔහුගේ බිරිය හා දියණියද ඔහු පන්නා දැම්මේය. “යන්නයි කිව්වේ ගෙදර” ඔහු ඔවුන්ට සැරෙන් කීය.

“මම කොටි හිරේ අවුරුදු ගණනක් හිටියා. මට මාංචු පුරුදුයි. මට පොලිසියෙන් අසාධාරණයක් සිදු වුණා. මගේ පඩි කැපුවා. උසස්වීම් නැවත්තුවා.” ඔහු හඬ නඟා කීය.
මෙහිදී පොලිස් විශේෂ කාර්ය
බළකාය කැඳවීමට පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාට සිදුවූ අතර බෆල් රථද සමඟ ඔවුහු එම ස්ථානයට පැමිණියහ
.
නිල ඇඳුමින් සැරසුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ එක් උසස් නිලධාරියකු සනත් ඉදිරියට පැමිණ තම අත වූ පිස්තෝලය තවත් නිලධාරියකුට දී අත් දෙපසට විහිදුවා තමා ළඟ අවි ආයුධ නැති බව පෙන්වමින් ඔහු සමඟ සාකච්ඡා කළේය.

එහෙත් ඔහු කියා සිටියේ සැකකරුවන් උසාවි දමන තුරු තමා මෙම ස්ථානයෙන් නොයන බවයි.

පැය දෙකකට අධික කාලයක් තෙබුවන හන්දිය භීතියට පත් කරමින් පැවැති මෙම රංගනය අවසන් වූයේ පස්වරු 2කට පමණය.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු දෙදෙනකු

ක්ෂණිකව පැන මොහු සහ මොහු සතුව තිබූ ගිනි අවිය තමන්ගේ ග්‍රහණයට ගත්හ.

එකෙණෙහිම ඔහු ගිනි අවිය ක්‍රියාත්මක කිරීමත් සමඟ “ඩෝං……….ඩෝං…….” යනුවෙන් ගිනි අවියෙන් උණ්ඩ දෙකක් නිකුත් වී ගියේය.

මේ අවස්ථාවේ එතැන සිටි ඔහුගේ දුව හා බිරිය ඇතුළු ඥාතීන් විලාප දුන්නේ පොලිස් නිලධාරීන් මොහුට වෙඩි තැබුවේ යැයි ය හැඟීමෙනි.
අත්අඩංගුවට ගත් සැරයන්වරයා පොලිස් ජීප් රථයකින් මතුගමට ගෙනයනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමේදී කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා කියා සිටියේ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබූ වැලි ටිපරයට වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර තිබූ බවයි. ඒ අනුව ඔහු මුදාහැරිය බව ඒ මහතා සඳහන් කළේය.

මෙය වැරැදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් මොහුගේ වැඩ තහනම් කරන බවද ඒ මහතා කීය.

සැරයන්වරයා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මොහු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 9දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියම කළාය.
ලංකාවේ පැරැණිම සාජන් මහත්තයා රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ ඒ අයුරිනි.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න හා පානදුර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress