තුවක්කු එළියට ගත්තේ මහින්ද – ගෝඨා ඇතුළු අපේ නායකයන් ඝාතනය කිරීමටයි
Posted on October 11th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

පසුගිය දිනෙක මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ත්‍රස්තවාදීන්ට අයත් ආයුධ තොගය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් වසන් කරන බවත් මේ පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මෙලෙස කරුණු වසන් කිරීම ජනාධිපති සහ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුල ඝාතන කුමන්ත්‍රණයේ මූලික පියවරක් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ඊයේ (10දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන
ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවිතය නැති කිරීමට උත්සාහ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිවුණා. ඊට අදාළ පරීක්ෂණත් දැන් පැවැත්වෙනවා. ඊටම සම්බන්ධ තවත් කාරණාවක් පොලිසිය මඟින් වසන් කරලා තිබෙනවා. ඒ තමයි පසුගියදා මුලතිව්වලදී ත්‍රස්තවාදීන්ගේ ආයුධ තොගයක් හමුවුණා. එම ආයුධ තොගය හමුවුණෙත් ත්‍රස්ත විමර්ශන ඒකකයට නෙවෙයි. මේක සොයාගත්තේ දේශප්‍රේමී යුද විරෝධී උතුරේ වැසියකුගෙන් ලැබුණු ඔත්තුවකට අනුව පාරේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

එහි තිබුණා කොටි සංවිධානයේ නිල ඇඳුම්, ජ4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය, ස්නයිපර් තුවක්කුවලට භාවිත කරන ස්කෝප් කණ්ණාඩි 2ක්. එකක් භාවිත කළ එකක්. අනෙක පැකින්වත් කඩලා නැහැ. මේ උපකරණ පිළිබඳව මුලතිව් පොලිසිය ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණිලි කරලා පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිම පරීක්ෂණයක් සිදු කළේ නැහැ. හරි නම් ඒක සී.අයි.ඩී. එකට භාරදීලා ඉදිරි වැඩකටයුතු සිදු කරන්න ඕන.

ඒ වාර්තාවේම සඳහන් වෙනවා එක සැකකරුවෙක් කියලා තිබෙනවා මේකට අදාළ ස්නයිපර් තුවක්කු තාම ඒ අය ගාව තිබෙන බව. ඒ ගැන විමර්ශනයක් කරලත් නැහැ.

ස්කෝප් කණ්ණාඩි දෙක පිළිබඳව පොතක වාර්තා කරලත් නැහැ. මේවා අද අතුරුදන් වෙලා තිබෙනවා. කුමන්ත්‍රණයේ මූලික සැලසුමක්ද මෙය කියලා අපට හිතෙනවා.

පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් එල්.එම්.ජී. තුවක්කු දෙකක් කිසිම සටහනක් තබන්නේ නැතිව එළියට අරගෙන තිබෙනවා. ජන බලය තුළදී මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එක තැනකදී ඝාතනය කිරීමට තමයි මේ තුවක්කුව එළියට ගත්තේ. නමුත් අද වන තුරු කිසිම පරීක්ෂණයක් පවත්වලා නැහැ.

අපි මෙතැන සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අභියෝග කරනවා මේ තොරතුරු හෙළිකරන ලෙස.

පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත
අපේ රට ඓතිහාසික භූමියක්. බෞද්ධ උරුමයන්වලට එල්ල වන ප්‍රබල සංහාරයක් එල්ල වී තිබෙන බව අපි දිගින් දිගටම අනාවරණය කළා. උතුර – නැඟෙනහිර බෞද්ධ උරුයමයන් විනාශ කිරීම පිළිබඳව මම දිගින් දිගටම හඬක් නැඟුවත් අද වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිවෙක් අවධානය යොමු කරලා නැහැ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වසර 1000කට එහා පැරැණි යාන්ඔය ශිෂ්ටාචාරය මුළුමනින්ම අන්තවාදී, මූලධර්මවාදී සංවිධාන ගණනාවක් විසින් අනතුරට ලක් කරලා තිබෙනවා. යාන්ඔය ශිෂ්ටාචාරයට සහ රජමහ විහාරයට සිදු වූ විනාශය පිළිබඳ සියලුම ඡායාරූප මා සතුව තිබෙනවා.

ත්‍රිකුණාමලය නාගලෙන් ආරණ්‍ය සේනාසනය විනාශයට පත්වෙලා. මිහිඳු ලෙන විනාශයට පත්කරනවා. යාන්ඔයට යන විටත් මහා ට්‍රැක්ටර්වලින් ඓතිහාසික ක්‍රිස්තු පූර්ව යුගයට අයිති පුරාවිද්‍යාත්මක වස්තු විනාශ කරනවා. ඒ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ නැහැ.

අපි පුල්මුඩේ පොලිසියට කිව්වා වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කියලා. කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ අය අන්තවාදයට යටත් වෙලා. නාගලෙන විහාරස්ථානයේ දෙමළ නිජබිම් සංකල්පය වැපිරීමේ වුවමනාව නිසා බෞද්ධ උරුම විනාශ කරනවා. මේක තමයි යහපාලනයේ සාධකය. ආණ්ඩුවේ යහපාලන කෝට් එක නාමයෙන් මේ දේවල් කරන්නේ.

ඓතිහාසික වඩ්ඩමාන පර්වත විහාරය අද පාර්ලිමේන්තු මන්ත්‍රි මන්නාරම දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ චාර්ල්ස් මන්ත්‍රිවරයාගේ යෝජනාවක් අනුව උතුරු පළාත් සභාවේ රවිහරන් කියන මන්ත්‍රිවරයා මිලියන 4.8ක් වෙන්කරලා වඩ්ඩමාන රජමහ විහාරයේ කෝවිල් හදන්න මැදිහත් වෙලා තිබෙනවා. මේ ගැන විමසා බැලීමට අපි එහි ගිය විට ඔවුන් අපෙන් අහනවා පර්මිෂන් තියෙනවාද එන්න කියලා. ලංකාවේ පුරවැසියන්ට ලංකාවේ යන්න එන්න පර්මිෂන් ඕනද? 20 වැනි සංශෝධනය සම්මත වුණා නම් කොහොම තියෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදීත් ලෝකයේ අර්බුද ගණනාවක් ඇති වුණා. නමුත් එය අපේ රටට බලපෑමක් කරගන්නේ නැතිව හැම දෙයක්ම නිවැරැදි පරිපාලනයක් තුළින් සංවර්ධනය කරා ගෙනයෑමට ඔහුට හැකි වුණා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress