චාමර වන්නිආරච්චි – අපේ කාලයේ වීරයා
Posted on October 12th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

චාමර වන්නිආරච්චි අපේ කාලයේ වීරයෙකි. රුදුරු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියද ඔහු අප්රමාණ ධෛර්යයකින් යුතුව මරණය දක්වා රෝගය සමග සටන් කලේය. රෝගය සමග සටන් කරමින් අන් අයවද දැණුවත් කලේය. පිළිකා රෝගය නිසා චාමර වන්නිආරච්චි මිය ගියද ඔහු අපට ඉගැන්වූ දෑ බොහෝය. තමාගේ මරණයට සුළු කාලයකට පෙර චාමර විසින් ලියා ලද මෙම සටහන ඔහුට ගෞරවයක් ලෙසට ට්රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පළ කරමි.

……..මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ….24.08.2018

ඇඳේ දින 5 ක් තිස්සේ එකම ඉරියව්වේ සිටිමින් බොහෝ අපහසුතාවන් මැද මේ සටහන ලියන්නේ මේ පණිවුඩය ඔබට දිය යුතුම නිසාය.
මා අසනීප වී ගතවූ මාස 28 පුරාම මට විවිධ ආකාරයේ ලෙඩ සුව කරන්නන් ගැන තොරතුරැ බොහෝ දෙනා එවා තිබුණි.ඒවා ගැන වැඩිදුර තොරතුරැ සෙවීමේදී දැනගන්නට ලැබුනේ ඔවුන්ගෙන් 99% ක්ම බොරැ කාරයන් බවයි….
මේ බොරැකාරයන් පසුපස අන්ධව ගමන්කිරීමෙන් දහස් ගනං පිරිසක් මුදල් සහ ජීවිත අකාලයේ හානිකරගෙන ඇත….
මුහුණු පොතේ දවස ගානේ විවධ “විශ්මිත වෙදුන්” යැයි කියා ගන්න බොරැකාරයින් ගැන ලිපි ඵලවෙයි…ඒවා කියවූ විට සිතෙන්නේ ඔවුන් සතුව නොමැරී සිටිය හැකි තරමේ විශ්මිත බෙහෙත් වර්ග ඇති බවයි….

නිවැරදි විචාර බුද්ධියක් නැති අන්ධබාල මාධ්යවේදීන් විසින් ඔවුනගේ පත්තර විකුණා ගැනීමට පිටු ගනං ලිපි ලියති….

“පිළිකා මාරයා අවසානයි”
“කරිවිල ඇට වලින් පිළිකා සපුරාම නැසිය හැක”
“වතුරෙන් පිළිකා සුව කරන විශ්මිත වෙදා”
“මයියොක්කා කෑමෙන් පිළිකා සුව වේ”

මෙවැනි සිරස්තල ඒවායේ ඉහළින් ඇත.ඒවා කියවන අපේ රටේ විචාර බුද්ධියෙන් තොර ජනයා ඒවා ගෙඩිය පිටින් විශ්වාස කරමින් හතර වටේ අයටත් ඒවා බෙදා හරින්නේ “තමන් සමාජයට යුතුකම් ඉටුකළා” වැනි හැඟීමකිනි…එහෙත් මේවා යවන අයට අදාළ වෙදුන්ගෙන් ප්රථිකාර ලබා ප්රත්යක්ෂ අත්දැකීම් නැත.90% ක් දෙනාට අඩුම තරමේ පවුලේ කෙනෙකු සුව වූ බවට අත්දැකීමක්වත් නැත…..තත්වය එසේ තිබියදී කිසිදු වග විභාගයකින් තොරව මේව දකින අය ඒවා හතර වටේ යවති…

රෝග වලින් අසරණව සිටින අයද මේ බොරැ කතා විශ්වාස කරමින් මේ හොර වෙදුන් පසුපස යති…..අවසනදී ලෙඩ සුවවීම කෙසේවෙතත් අතේ ඇති දෙකයි පනහද ජීවිතයද අහිමි කරගනී…

අපේ රටේ ජනයා ඉතා පහසුවෙන් බොරැවෙන් මුලා කළ හැකි පිරිසකි…නිකවැරටියේ බෝධියේ මතුවූ ඊනියා බුදු රැව,දොළුකන්දේ ඊනියා පිරිත් පැන්,සිමෙන්ති පිළිම වලින් බුදු රැස් විහිදීම වැනි හාස්යජනක සිදුවීම් වලට අපේ රටේ කී දාහක් නම් හසු වූවාද ? ඉදිරියටත් එය එසේමය.

ස්වේච්ඡාවෙන් මට ප්රථිකාර කරන ශීලවන්ත හික්ෂුවක් සිටී.ඒ හිමි මට කිසිදු ඖෂධයක් ලබා නොදුන් අතර පැය ගනනක් මගේ අතින් අල්ලාගෙන නාඩි බලමින් එක්තරා සමාධියකට යන ලදී…පසුගියදා එවැනි විටෙක ඒ හිමි කීවේ මාගේ පාදවල ඇති ආබාධය දනහිස්වල ඇති බවයි.ඒ වෙනුවෙන් දණහිස්වල ආලේප කිරීමට බෙහෙතක්ද ලබාදුනි…මගේ රෝගී තත්වය සමාධියේදී දැකීමට හැකිබව ඒ හිමි කීය…එහෙත් සිරැරේ පහළ කොටස සපුරාම පණ නැතිවීමට හේතුව කොඳු ඇට වලට පිළිකාව පැතිරී ඇතිවීම නිසා බව MRI report එකෙන් පැහැදිළිව පෙනුනි…

ඒ හිමි විසින් සිදුකර තිබුනේ “පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා” වැනි ඵලක් නැති ප්රථිකාරයකි…..

අනෙක් අය ගැනද කීමට ඇත්තේ එපමණකි….

ඔබලාට හොඳටම විශ්වාසයක් පමණක් නොව අත්දැකීම්ද ඇතිනම් පමණක් මෙවැනි ලෙඩ සුව කරන්නං ගැන අන් අයට කියන්න.එසේ නොවන ඔබ නොදන්නා මිනිසුන් ගැන තොරතුරැ අසරණ රෝගීන්ට යොමු කිරීමෙන් ඔබ විසින් ඔවුන් වෙහෙසට පත් කරනවාට වඩා යමක් නොකරනු ඇත…

“හොඳ වුනාලු” නොව අහවලාට අහවල් ලෙඩේ “හොඳ වුනා” යනුවෙන් විශ්වාසයෙන් යුතුව කිව නොහැකි නම් රටවටේ බොරැ ප්රචාරය කිරීමෙන් වැළකී සිටින්න..

සියළු සත්ත්වයෝ බොරැකාරයන් නොවෙත්වා…! සත්යවාදීන් වෙත්වා….!  (චාමර වන්නිආරච්චි )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress