ආනන්දි සශිදරන් අමාත්‍යවරියගේ දේශපාලන පක්ෂයට ඇති මානව හා භෞතික සම්පත් ඉතා දුර්වල මට්ටමක
Posted on October 23rd, 2018

දිනසේන රතුගමගේ

උතුරු පළාත් සභාවේ ආනන්දි සශිදරන් අමාත්‍යවරිය විසින් අළුතින් පිහිටුවා ගන්නා ලද  දේශපාලන පක්ෂයට ඇති මානව හා භෞතික සම්පත් ඉතා දුර්වල මට්ටමක පවතින නිසා එහි අනාගතය එතරම් පැහැදිලි නැතැයි උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

වවුනියාවේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදීය.

ඕනෑම අයෙකුට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ප්‍රජාතාන්ත්‍රික රටක අයිතිවාසිකමක් ඇතත් එම පක්ෂයේ අනාගතය තීරණය වන්නේ වර්ථමානයේ ඒ ඒ පළාත් වල පවතින දේශපාලන වටපිටාව මත යැයි සත්‍යලිංගම් වෛද්‍යවරයා කියා සිටියේය.

මේ කාල වකවානුවේදී උතුරේ දේශපාලන හැසිරීම දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට වඩා විකල්ප දේශපාලන පක්ෂයකට එකවර නැගී සිටීමට ඇති හැකියාව අඩු බවද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය සියයට සියයකින්ම ඉතා හොද පක්ෂයක් ලෙස තමන් අර්ථකතනය නොකරණ නමුත් හදිසියේම පිහිටුවා ගන්නා දෙමළ දේශපාලන පක්ෂයකට දෙමළ ජාතික සන්ධානය අභිබවා යාමට ඇති හැකියාව ඉතා අඩු බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ පැරණිම හා ඉතාම ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වුවත් එම පක්ෂයටවත් දෙමළ ජාතික සන්ධානය අභිබවා ඉදිරියට යාමට නොහැකි වූ උතුරේ දේශපාලන වටපිටාවක අළුතෙන් බිහිවන පක්ෂ වල අනාගතය එතරම් ඈතකට දිව යනු ඇතැයි තමන් විශ්වාස කරණ බව සත්‍යලිංගම් මහතා මෙහිදී තවත් උදාහරණ ගණනාවක් දෙමින් පැහැදිලි කළේය.

මේ අවස්ථාවේදී සෑම දෙමළ දේශපාලනඥයෙකුම සිහි තබා ගත යුතු මූලික කරුණ  වන්නේ තනි තනිවම ගොස් ජයග්‍රහණයක් ලබා ගැනීමට වඩා සියළු දෙනාම එක් අරමුණක් ඔස්සේ ගොස් පොදු අවශ්‍යතා ඉටු කරගැනීම යැයි සත්‍යලිංගම් මහතා අවධාරණය කළේය.

දෙමළ ජාතික සන්ධානය නව රජයන් බලයට පත් කිරීමට විශාල කැප කිරීමක් කළ හෙයින් මේ රජයෙන් දෙමළ ජන්තාව වෙණුවෙන් යමක් ලබා ගැනීමට හැකි යැයි විශ්වාසයෙන් පසුවන අතර තුර දෙමළ ජාතික සන්ධානයේම සිටින පිරිස පක්ෂය විවේචනය කරමින් වෙනත් පක්ෂ පිහිටුවා තනිවම දේශපාලන වාසි ලබා ගැනීමට යාම තමන් අනුමත නොකරණ බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress