හිටපු අගමැති රනිල් ජෝකරයකු විය යුතු නෑ
Posted on October 29th, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

නව අගමැතිවරයකු පත් කළේ දේශපාලන අර්බුදයකට විසඳුමක් ලෙස බැවින් එහි ව්‍යවස්ථා අර්බුදයක් නැති නිසා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා තානාපතිවරුන් කැඳවා ලෝකය ඉදිරියේ ජෝකර්වරයකු ලෙස හැසිරීම නොකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ඩිලාන් පෙරේරා පැවැසීය.
ඔහු එසේ සඳහන් කළේ ඊයේ (28දා) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

“නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය” සංවිධානය කළ එම මාධ්‍ය හමුවේදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සැබෑම මෛත්‍රි යුගය ඇරඹෙන්නේ දැනුයි. වෛරී දේශපාලනය අවසන් කළ යුතුයි. අපි හදන්නේ භාරකාර නොවෙයි කාර්යභාර ආණ්ඩුවක්. පරණ වැරැදි නිවැරැදි කරන ආණ්ඩුවක් හදන්න තමයි අපේ වුවමනාව. ඒකෙන් තොර ආණ්ඩුවකට මේ නව ආණ්ඩුවම කපුකම් කළා. එස්.බී., තිලංග, ලක්ෂ්මන්, වසන්ත හා මම ඉඩ තියන්නේ නැහැ.
මහ මැතිවරණයකට යන්න නම් පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් එම යෝජනාව සම්මත විය යුතුයි.

අධිකරණ ක්‍රියාමාර්ග පසුගිය කාලයේ ඇතැම් ඒවා යටපත් වී තිබුණා. ඒත් අපි ස්වාධීනව අධිකරණයට අවශ්‍ය තීන්දු ගන්න අවකාශ දෙනවා.

මැති ඇමැතිවරුන් ලබා ගත් යම් ප්‍රමාණයකට සීමා කරන්න අත්‍යවශ්‍ය පහසුකම් පමණක් බලාපොරොත්තු වෙනවා. ඇමැතිවරු 30 සීමාව ඉවත් කරන්න කටයුතු කරන්නේ නැහැ.

අගමැතිවරයා ඉවත් කිරීමට ක්‍රම 2ක් තියෙනවා. එහෙම හෝ අන්‍යාකාරයකින් කළ හැකියි කියා තිබෙනවා. අන්‍යාකාරයකින් තමයි මේක කළේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ විශ්වාසය දිනා ගත හැකි කියලා කෙනා අගමැති ලෙස පත් කරන්න ජනාධිපතිට පුළුවන්.2015දී මන්ත්‍රිවරු 44ක් සිටි රනිල් වික්‍රමසිංහ අගමැති කළෙත් ඒ විධියටයි.

එත් මේකට අභියෝග කරනවා නම් අය – වැයට පෙර ගෙන එන අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ පසු කළ හැකියි. එහෙම නැතිව අරලියගහ මන්දිරයට වෙලා විහිළුකාරයෙක් වෙන්න හොඳ නැහැ.

අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහත්තයා පත් කිරීමේදී ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා විය යුතු බව ගිවිසුමක් නැහැ. ඒත් සන්ධානයේ බොහෝ අය දැන් එතුමා ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු යැයි කියනවා. ඒ නිසා ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ජනාධිපති අගමැති සාකච්ඡා කොට පක්‍ෂයක් ලෙස තීන්දු කරනවා.
අද ව්‍යවස්ථා අර්බුදයක් නැහැ. තිබුණු දේශපාලන අර්බුදයට විසඳුමක් තමයි දී තිබෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක,
නොයෙකුත් බැනුම් අසමින් අපි දුෂ්කර ගමනක් ගියා. ඒත් අපි අද ඉලක්කය කරා පැමිණ ජයග්‍රාහී මානසිකත්වයක ඉන්නවා.

ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්. ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් කියලයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිව්වේ.

එ.ජා.ප.යට හරි වේදනාවක් ඇති. හදිසියේ සල්ලි හම්බ කරන පිරිසක් ජාතික ආණ්ඩුවේ සිටියා. රනිල් වික්‍රමසිංහ ඊට අවස්ථා දුන්නා. ජනාධිපතිටත් හොරා ආයතනවල කොටස් විකිණුවා.

අපි කාගෙත් ඇස් වහලා විදේශිකයකු ගෙනත් දමාගෙන මහ බැංකුව අගමැති යටතට ගත්තා. අර්ජුන මහෙන්ද්‍රන් මෙහෙන් පැන්නුවෙත්, සිංගප්පූරුවේදී රැක බලා ගන්නත් පහසුකම් සැලසුවේ රනිල් වික්‍රමසිංහ විසිනුයි.

රනිල් වික්‍රමසිංහට ඉන්නේ මලික්, මංගල, සාගල හා අකිල විතරයි. වෙනත් කිසිවකුගේ ආදරයක් රනිල්ට නැහැ.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන රනිල් වික්‍රමසිංහ එක වචනයක්වත් තමන් සමඟ කතා නොකළ බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වේදනාවෙන් කිව්වා. මේක පිටුපස තවත් විශාල පිරිසක් ඉන්නවා.

අපිට හිත්පිත් නැති මංගල සමරවීරගේ අය – වැය කියවන්න බැහැ. හෙට සිට ඇමැති මණ්ඩලය දිවුරුම් දීම අරඹනවා. මේ වන විට ජනාධිපතිතුමා හා අගමැතිතුමා හැර එක ඇමැති කෙනෙක්වත් නැහැ. අගමැතිවරුන්ට දීපු අමාත්‍යාංශවල වාහන ලබා ගන්න කියලා මම නිලධාරීන්ට කියනවා.

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව රනිල් වික්‍රමසිංහ කියන කතාව ගැන පුදුමයි.

පළාත් සභා මැතිවරණ කල් දැමීම රනිල් වික්‍රමසිංහ මහතා හිතාමතා සිදු කරන දෙයක්. අපි ඒක නිවැරැදි කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල,

හිටපු අගමැතිතුමාට අරලියගහ මන්දිරයේ නිල නිවෙසේඉන්නට නෛතික බලයක් නැහැ. ඒ නිසා ඒකෙන් ඉවත් විය යුතුයි. ජනතාව තීන්දුව අතට ගත්තොත් ගැටුම් ඇති වෙනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress