එජාපයේ නිල බස ඉංග්‍රීසි නිසා හිටපු අගමැති රනිල් අලි අමාරුවක..
Posted on October 31st, 2018

lanka C news

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා කියන පණිවුඩය ලැබෙන්නට ටික වෙලාවකට කලින් මාධ්‍ය හරහා රටට ලැබුණු පණිවුඩය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ බවයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයේ උපරිමය තිහකට සීමා වෙනවා. නමුත් ජාතික ආණ්ඩුවකදී අමාත්‍ය ධුර කීයක් පැවතිය යුතුද යන්න පාර්ලිමේන්තුවට තීරණය කළ හැකියි.

පැවැති ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වන විට හතලිස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් සිටියා. ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයේ සිටිය හැක්කේ අමාත්‍යවරුන් තිස් දෙනයි. ඒ අනුව හතළිස් දෙනකු ගේ අමාත්‍ය මණ්ඩලයකට පැවතීමේ හැකියාවක් නැහැ. නිසා එම හතළිස් දෙනාගේ අමාත්‍ය මණ්ඩලය විසිරී යනවා.

එජාපයේ නිල බස ඉංග්‍රීසි නිසා හිටපු අගමැති රනිල් අලි අමාරුවක..

අපේ ආණ්ඩුක්‍රම විව්‍යවස්ථාවේ 46(2) වගන්තියෙ මෙලෙස සඳහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තිය

අග්‍රාමාත්‍යවරයා –

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වූ වුවහොත් හෝ
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ

මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍යමණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

මේ අනුව ඇමැති මණ්ඩලය පවතින තාක් අග්‍රාමාත්‍යවරයාට සිය දූරය දැරිය හැකි බව පැහැදිලියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ඇමති මණ්ඩලයත් විසිර ගොස් තියෙනවා. එවිට අගමැති තනතුර පුරප්පාඩු වෙනවා. එසේ ඇතිවන පුරප්පාඩුවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තියෙ මෙලෙස සඳහන් වෙනවා.

ජනාධිපතිතුමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේය.”

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා විසින් සිතන කෙනාවයි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන්නේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය අහිමි කලා නොවෙයි අහිමි වුණා. ඒ සඳහා පුරප්පාඩුව ඇති වූ විට ජනාධිපතිවරයා විසින් තීරණය කළා දැන් පාර්ලිමේන්තුවේ බහුතරය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව. ඒ අනුව එතුමාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කළා.

මාගේ උගත් මිත්‍ර ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා මාධ්‍ය ඉදිරියේ කියනවා මම දැක්කා අග්‍රාමාත්‍ය වරයා ඉවත් කළ නොහැකි බව. ඉවත් කිරීමත් කරන්න පුළුවන්. අවාසනාවකට ඒක්සත් ජාතික පක්ෂයේ නිල භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. රටේ නිල භාෂාව සිංහල භාෂාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපත සහ ඉංග්‍රීසි පිටපත අතර බරපතළ වෙනසක් තියෙනවා. එසේ මෙසේ වෙනසක් නෙවෙයි බරපතළ වෙනසක් තියෙනවා.

මොකක්ද ඒ වෙනස, 48 (1) වගන්තියේ කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වන, 43වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙකු ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත් කළ යුත්තේ ය.

48 (1) වගන්තියෙන් ජනාධිපතිවරයාට බලය දීලා තියෙනවා ධූරයෙන් ඉවත් කරන්න. හැබැයි ඉංග්‍රීසි එකේ මොකද්ද කියන්නේ. මේ තානාපතිලාට පෙන්නන රනිල් වික්‍රමසිංහ මහතා එදිනෙදා පරිශීලනය කරන ඉංග්‍රීසි පිටපත කොහොමද මේක ලියලා තියෙන්නේ. On the Prime Minister ceasing to hold office by death, resignation or otherwise, මෙය අපි සිංහලට පරිවර්තනය කළ හොත් අගමැතිවරයා මරණය ඉවත් වීම හෝ අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම නතර වූ විට යන්නයි. සිංහල පිටපතේ තිබුනේ ධූරයෙන් ඉවත් කිරීම ,ඉවත් වීම හෝ අන්‍යාකාරයෙන් කියලයි. නමුත් ඉංග්‍රීසි එකේ තියෙන්නේ ඉවත් කිරීම වෙනුවට Death කියලා. මැරුනට පස්සෙ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන්න බෑ කියලා මේකෙ ලියන්න ඕනෙ ද? මැරුනොත් හොල්මනක් ඇවිත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන්න බෑනේ. මේ ලෝකයේ කිසිම තැනක මියගිය හොල්මනක් ඇවිත් ධුරයේ කටයුතු කරලත් නෑ කරන එකකුත් නෑ. ඒක නිසා ඒක අදාලම නෑ.

සිංහල පිටපතේ ඉවත් කිරීමට පුළුවන් කියලා තියෙනවා. ඉංග්‍රීසි පිටපත් එහෙම නෑ. ඒක නිසා ඉංග්‍රීසි පිටපත කියවන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතාගෙන ඉන්නවා ජනාධිපතිතුමන්ට තමන්ව ඉවත් කරන්න බෑ කියලා. අවාසනාවට ජයම්පතී වික්‍රමරත්න මැතිතුමා, රාජ්‍ය නොවන සංවිධානවල පිරිස් ඒ වගේම තානාපතිවරු ඉංග්‍රීසි පිටපත පමණක් බලමින් ඉවත් කිරීම සඳහා කිසිම බලයක් නැතැයි කියා තර්ක කරනවා. නමුත් අපේ රටේ 1978 වන විට තිබුණේ එක් රාජ්‍ය භාෂාවක් පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරපු වසරේ රාජ්‍ය භාෂාව වුනේ සිංහල භාෂාව විතරයි. ඒ නිසා ඉංග්‍රීසි පිටපත හෝ දෙමළ පිටපත් තිබෙන දේ නෙවෙයි වැදගත් වන්නේ සිංහල පිටපතේ කුමක්ද තියෙන්නේ කියන එකයි. ඊට පසුව උනත් සිංහල පිටපත සහ දෙමළ පිටපත අතර අනනුකූලතාවයක් (නොගැලපීමක්) ඇතිවුවහොත් බලපැවැත්වෙන්නේ සිංහල පිටපතයි.

ඒ අනුව මේ ක්‍රම දෙකෙන්ම බැලුවත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම ව්‍යවස්ථානුකූලයි නීත්‍යනුකූලයි.

එහෙම නොවෙනවා කියා සිතමු. මොකක්ද කළ යුතු වන්නේ. නීතීඥයෙකු වන මාගේ උගත් මිත්‍රයා නීතිඥ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා පරිපාලන නීතියේ සංකල්පයක් තියෙනවා Comply and Complain. ඒ කියන්නේ අනුගතවී පැමිණිලි කරන්න. අපි මෙහෙම උදාහරණයක් ගමු. යාපනය කච්චේරියෙ අවුරුදු දහයක් වැඩ කරලා ආපු තරුණ මෙනවියක් කසාද බැඳලා බබෙක් හම්බෙන්න ඉන්න කොට ආපහු යාපනයට මාරු කරනවා. අපේ නීතිය අනුව ඒක වැරදියි. අසාධාරණයි. නමුත් එය පිළිගන්නැතිව යන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? එහෙම කරන්න බෑ. මාරුවීමක් ලැබුනා යාපනේ කච්චේරියට ගිහින් වැඩ බාර ගන්ඩ ඕන. ඊට පස්සේ ඉහළ බලධාරීන්ට අභියාචනාධිකරණයට, මානව හිමිකම් කොමිසමට, මේ ආයතන වලට පැමිණිලි කරන්න පුළුවන්. First Comply then Complain. එහෙම නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිතෙනවනම් මට අසාධාරණයක් වුණා කියලා, එතුමා කළ යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හඬා වැටීම නොව, මාධ්‍ය ඉදිරියේ බොරු තර්ක ගෙන ඒම නොව, මුලින් බඩුමුට්ටු අකුලාගෙන ගෙදර ගොස් ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමයි. ඇයි ඒ? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැන් අපි අර්ථකතන දෙකක් දෙනවා. දැන් තමුන්නාන්සේලාට අපි ඒක අර්ථ කථනයක් දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට අරලියගහ මන්දිරයට ගියාම තව අර්ථකථනයක් ලබා දෙනවා. දැන් තමුන්නාන්සේලාට තීරණය කරන්න පුළුවන්ද මොන අර්ථකථනය ද හරි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ ඒකාධිකාරය තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරමයි. මේ නිසා ව්‍යවස්ථාකුල නැත කියල එක්සත් ජාතික පක්ෂයට හිතෙනවනම්, කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමයි. ඇයි ඔවුන් ඒක කරන්නේ නැත්තේ. දන්නවා මේක සීයට සීයක් ව්‍යවස්ථානුකූලව සිදු කරපු දෙයක් බව. එතෙන්ට ගියොත් වැඩේ ලෙඩේ වෙන බව. එතරම්ම මේක පැහැදිලි.

දෙවන කාරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා ලොකු අධිකරණයත් මේ රටේ තියෙනවා. ඒ තමයි ජනතා අධිකරණය. දැන් මේ අපි කතා කරන අගමැතිකම ලැබිය යුත්තේ කාටද කියලා තීරණය කරන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරල තමයි අගමැතිකම තීරණය කරන්නේ. අපි ලෑස්තියි ජනතාව ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳ ගන්න. ජනතාවට තීරණය කරන්න දෙන්න යමු අපි පාර්ලිමේන්තු මැතිවරණයකට. අපි කියනවා මහින්ද අගමැති කරන්න අපිට ඡන්දෙ දෙන්න කියලා. ඔබ කියන්න රනිල්ව අගමැති කරන්න එජාපයට ඡන්ද දෙන්න කියලා. රටේ ජනතාව තීරණය කළොත් අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කිසි ප්‍රශ්නයක් නෑ එදා 2015 ජනවාරි 09 වගේම සතුටු සිතින් ගෞරවනීයව වේදිකාවෙන් බැස යෑමට අපි සූදානම්.

තුන්වැනි විකල්පයකුත් තියෙනවා දැන් කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අගමැති ඉවත් කිරීමේ ක්‍රමයක් නෑ. අගමැතිවරයෙක් පත් වුණාම ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන්. එහෙම නැතිනම් කරන්න වෙන්නේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. දැන් මේ අය මේ වනතුරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරලා තිබෙනවාද? නෑ. පාර්ලිමේන්තුව කැඳවන්න කියල කෑ මොර දෙන්නේ නැතුව ඉස්සෙල්ලාම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළොත් අගමැතිට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සම්ප්‍රදාය අනුව ඒක පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු සියල්ලම පැත්තකින් තබලා අගමැති තුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව විවාද කරලා ඡන්දයක් ලබා ගන්ඩ ඕන. එහෙනම් එතුමන්ලාට ඇත්තටම උවමනාවක් තියෙනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා එළවීමට එහෙනම් පාර්ලිමේන්තුව කැඳවන දවසට විවාදයට ගන්න මේ වන විට විශ්වාසභංග යෝජනාවක් අස්සන් කරලා කතානායකතුමාට බාරදෙන්න ඕන. එහෙම කරන්න ඇත්තෙ එහෙම කරන්න අවශ්‍ය අත්සන් 113 ඔවුන්ට නැති නිසා.

එනිසා මේ ක්‍රම 3 ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම, ජනතා අධිකරණයට යෑම, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කියන ක්‍රම තුනෙන් එකක්වත් මේ දක්වා එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරල නෑ. ඒ වෙනුවට වෙන්න මොකක්ද ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යෑම. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් තමයි මේ රට පාවල දුන්න පවුල් වල අය. මේ අය හිතාගෙන ඉන්නවා මේ රට තාමත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් කියලා. ඒ නිසා බටහිර රටවල් වලින් තමයි නියෝග ගන්න යන්නේ. ජනතාව ගෙන් නෙවෙයි. අද ඇමරිකාව කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. රටේ ඡන්දෙන් පත්වුණා ජනාධිපතිවරයා කල් තබපු පාර්ලිමේන්තුව කැඳවන්න කියන්න අමරිකානු ආණ්ඩුව කවුද?

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress