අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් පුළුවන් නම් උදවු කරන්න නැත්නම් වැඩක් බලාගන්න
Posted on January 7th, 2019

සවනි ශේශාධි උපුටාගැණීම  මව්බිම

මෙරට ‘ආගමික සහජීවනය’ සහ ‘ජාතීන් අතර සහජීවනය’ සම්බන්ධයෙන් අර්බුද පවතිනවා නම් ඒවා සඳහා විසඳුම් සොයාගැනීම ආගම් තුළ ඇති ආධ්‍යාත්මික මඟ පෙන්වීම් තුළින් කළ හැකි බවත්, ඒ සඳහා කිසිසේත්ම විදේශීය අතපෙවීම් අපිට අනවශ්‍ය බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

අන්තවාදී රටක් ලෙස සිතා ශ්‍රී ලංකාවට අස්ථානගත චෝදනා එල්ල කරමින් හංවඩු ගසන බටහිර රටවල් ඇතුළු ලෝකයා සිදු කරනුයේ එකී රටවල නිෂ්පාදිත අවි ආයුධ විකුණමින් ඔවුන්ගේ මූල්‍ය ශක්තිය තව තවත් වැඩි කර ගැනීම විනා අන් කිසිවක් නොවන බවත් පවසන උන්වහන්සේ විදේශීය රටවලට අවධාරණය කරනුයේ මෙරට තත්ත්වය තවදුරටත් අවුල් නොකර තම තමන්ගේ වැඩක් බලාගන්නා ලෙසටය.

බානගල උපතිස්ස නාහිමි චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
උන්වහන්සේ තවදුරටත් මෙසේද කීහ.

බොහෝ වෙලාවලදී විදේශීය රටවල් ලංකාව ම්ලේච්ඡ ජාතිකයන් සිටින රටක් ලෙස හංවඩු ගහනවා. පොඩ්ඩ එහාට මෙහාට වුණාම මනුස්සයන්ගේ දුර්වලකම් තුළ යමක් සිදුවුණාම මේ රටේ සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, මේ රටේ ජීවත්වන අනෙකුත් ආගමිකයන් සියලු දෙනා අතර විරසකවීම් ඇති වෙනවා කියලා අනවශ්‍ය විදියට සුළු සුළු සිද්ධීන් පවා විශාල සිද්ධීන් ලෙස හුවා දක්වලා අපේ රටටත් රටේ කීර්ති නාමයටත් කැළැල් ඇති කරන බොහෝ දෙනෙක් බටහිර යුරෝපය ඇතුළු බොහෝ රටවල ජීවත්වෙනවා. එය අපිට කනගාටුදායක කාරණයක්.

ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් අදහන විවිධ ජාතීන් වෙසෙනවා. සාමදානයෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. අපිට කවදාවත්ම ආගමක් වශයෙන් සලකා කරදර හිරිහැර කිසිවක් එල්ල කොට නැහැ. පොඩි – පොඩි වරදවල් තේරුම් නොගැනීම් විවිධ අවස්ථාවල සිද්ධ වෙනවා. මනුෂ්‍යයෝ විවිධ නම් එවැනි තත්ත්වයන් ඇතිවෙනවා. ඒ දේවල් පමණට වඩා උලුප්පලා පෙන්වලා මේ රට තුළ ආගමික විවිධත්වය පිළිගන්නේ නැහැ කියලා චින්තනයක්, භීතියක් මේ රට ගැන ලෝකය තුළ ඇති කරන්න සමහරුන් කටයුතු කරනවා.

අනෙක් රටවල මෙවැනි සුළු සුළු අර්බුද නැහැ කියලා කියන්න බැහැ. මෙවැනි දේවල් ව්‍යාප්ත කිරීම මඟින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව අන්‍යයන්ගේ මත නොඉවසන අන්තවාදී රටක්, බුදු දහම කියන්නේ අන්තවාදී ආගමක් කියලා ලෝකයට කියන්නයි. ආගමික, සහජීවනය ඇතිව සමානාත්මතාවෙන් මේ රටේ අපි ජීවත් වෙනවා. වෙන අයට ඕනෑ විදියට අපිව භේද කරන්න බැහැ. මේ රට ගහකට සමාන කළොත් එහි කඳ හෙවත් මුදුන් ලීය තමයි බුද්ධාගම. ඒ කඳට සම්බන්ධ වුණු අතු තමයි මේ රටේ විවිධ ආගම් අදහන අය. අපි සියලු දෙනා හරි ලස්සනට මේ රටේ ජීවත් වෙනවා.

ඔබ මේ කරන චෝදනා අස්ථානගත චෝදනා කියලා අපි ලෝකයටම කියනවා. එවැනි චෝදනා අපිට එල්ල කරන්න එපා. අපේ ආධ්‍යාත්මික පසුබිම තුළ අපේ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන්. ඒ නිසා අපි ම්ලේච්ඡ ජාතියක් කියලා කියන්න එපා. ම්ලේච්ඡ සංස්කෘතියක් අපිට නෑ. ඒ කතාව අපිට පිළිගන්න බැහැ. අස්ථානගත චෝදනා එල්ල කරලා රට තුළ භේද ඇති කරවා ඒ රටවල් නිෂ්පාදනය කරන ආයුධ අපිට ලබාදීලා අපි එක එකා කොටවන එක නෙවෙයි කරන්න ඕනෑ. අපේ රටේ අනන්‍යතාවට, එහි පැවැත්මට ඒ අය ගරු කළ යුතුය.

ඒ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් එවැනි දෙයක්. මේ රටේ සාමදානය, සහජීවනය පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට විසඳුම් සොයා ගන්නම්. ඒක අපිට පුළුවන්. ඔබ මේකට අතදාන්න එන්න ඕනෑ නැහැ. ඒ විසඳුම් සොයා ගැනීම සඳහා ආධ්‍යාත්මික මඟ පෙන්වීම් අපි ඉගෙන ගන්නා ආගම් තුළ තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ ඒ මඟ පෙන්වීම තියෙනවා. ඔබ කරුණාකරලා අපිට අවශ්‍ය නම් උදවු වෙන්න. අවශ්‍ය නැත්නම් ඔබගේ වැඩක් බලාගන්න. මෙහෙට ඇවිල්ලා අපේ රටේ තත්ත්වය අවුල් කරන්න එපා. මේක අපි ලෝකයට කියන්න ඕනෑ යැයිද උන්වහන්සේ තවදුරටත් පැවැසූහ

One Response to “අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් පුළුවන් නම් උදවු කරන්න නැත්නම් වැඩක් බලාගන්න”

  1. Hiranthe Says:

    Mother Lanka appreciate your stand Ven. Cardinal Malcolm Ranhith.

    You are a true son of Mother Lanka.

    None of the Malwathu and Asgiri chiefs could not stand up like you to defend Mother Lanka.

    We respect you Sir from our heart felt gratitude!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress