රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වන වාහන කැබලි කිරීමේ මහා ජාවාරමක්.. පාඩුව කෝටි 650යි.. ඇමති රවි කරුණානායකට චෝදනා..
Posted on March 1st, 2019

අරවින්ද අතුකෝරල lanka C news

පුංචි පුංචි කාර් ජනතාවට ගෙනත් දීමට පැමිණි ආණ්ඩුව යටතේ ඇතැම් පුද්ගලයන් වාහන කෑලි කෑලි කර එයින්ද මිලියන ගණනින් වංචා කර ඇති බව පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන වාහන කැබලි කිරීමේ ජාවාරමක් හේතුවෙන් රජයට මිලියන 6500 ක පාඩු සිදුකර ඇති බවට අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව අද දින (01) 2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත පැමිණිලි ගොනු කිරීමෙන් අනතුරුවය.

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වන වාහන කැබලි කිරීමේ මහා ජාවාරමක්.. පාඩුව කෝටි 650යි.. ඇමති රවි කරුණානායකට චෝදනා..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධු මාධව අරවින්ද මහතා,

පසුගිය සමයේ සිදු වූ දූෂණ වංචා ගණනාවක් සාක්ෂි සහිතවම මෙම කොමිෂන් සභාව වෙත එකි නෙක ඉදිරිපත් කිරීමට පිවිතුරු හෙළ උරුමය විදිහට අප බලාපොරොත්තු වෙනවා. මේ එහි මුල් පියවරයි. මෝටර් රථවලින් බදු මුදල් වශයෙන් ලංකා රජයට රුපියල් මිලියන 6500ක් අය විය යුතුව තිබූ මොහොතක රාජ්‍ය අනුග්‍රහයද සහිතව එම මුදල් රජයට අහිමි වූ ආකාරය පිළිබඳ තොරතුරු අද අපි මෙම කොමිසම හමුවේ තබනවා.

රවී කරුණානායක මහතාගේ විශේෂ අනුග්‍රහයක් ලබන විහිකල් ලංකා ආයතනය වාහන 2250ක් ඉතාමත්ම සූක්ෂම ලෙස නියමිත බදු මුදල් නොගෙවා මෙරටට ගෙන එනු ලබනවා. එක් පුද්ගලයෙක් වෙනුවෙන් අයවැය යෝජනා පවා ගෙන එමින් තමයි මෙය සිදු කරන්නේ. රවි කරුණානායක මහතා එක් පුද්ගලයෙක් වෙනුවෙන් තමයි මේ විශේෂ අනුග්‍රහය දැක්වීම සිදු කරන්නේ. ලංකාවට වාහන ගෙන්වීමේදී සැබෑ ව්‍යාපාරිකයා බදු මුදල් ගෙවන්නත් මෙවැනි ආවරණ ලබන සොරුන් වංචනික ලෙස වාහන ගෙන්වීමත් සිදු නොවිය යුත්තක්. පුංචි පුංචි කාර් දෙනවා කිව්වට පුංචි කාර් කෙසේවෙතත් වාහන කෑලි කෑලි කරලා එයින්ද වංචා කිරීමයි මේ සිදුවෙලා තියෙන්නේ.

මේ වංචා කල මුදල් යළි අයකර ගන්නට කටයුතු කරන්න කියලා අපි මේ ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව සදහා පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර මහතාද සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress