අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු
Posted on March 11th, 2019

තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත.

පසුගිය සතියේ නොයෙක් කටකතා පළවුවත් ඒවායේ සදහන් වූ ආකාරයට ජනපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් පැවැතුනේ නැත. පෙර අවස්ථාවක දී ජනපතිවරයාම සදහන් කළ ආකාරයට, එවැනි හමුවක අවශ්‍යතාවක් නැත යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයෙක් පැවසුවේ ය.

වර්තමාන විපක්ෂ නායකවරයා ද වන මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිවසේ දී පසුගිය සතියේ පැවැති රැස්වීමකට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නියැලිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් පළවූ අදහස් ද සැළකිල්ලට ගත් ඔවුහු, නව සන්ධානයක් සදහා අවශ්‍ය ව්‍යුහය සකස් කිරීම සදහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය කළහ.

දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නියෝජනය කරන අතරවාරයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස්, න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ, සහ ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ශවය නියෝජනය කරනු ඇත. රැස්වීම් පවත්වා ව්‍යුහය සම්බන්ධයෙන් එකගතාවයක් ඇතිකර ගැනීමට මෙම ඒකාබද්ධ කමිටුවට කාලයක් ගතවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව පොදු සන්ධානය ගොඩනැගීමට ද කාලය ගත වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඒකාබද්ධ මැයි දින රැලියක් පැවැත්වීමට යෝජනා කළ ද එයට අනුමැතිය නොලැබිණ. මැයි දින රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනමත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බැවින් ඒවා වෙනස් කිරීම එතරම් හොද අදහසක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.

පක්ෂ නායකයන් අතර සාකච්ඡාවට බදුන් වූ වඩා වැදගත් මාතෘකාවක් වූයේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමත් සමග එන පාර්ලිමේන්තු මැතිවරණයක යෝජනාව පිළිබද මේ දිනවල ඇතිව තිබෙන උනන්දුවයි. එම යෝජනාවේ වරදක් නැතත්, එයට ජනප්‍රියත්වයක් හිමිව නොමැති බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. සමාජ මාධ්‍ය ජාලවල එයට එරෙහිව දැඩිව විවේචන නැගෙමින් තිබෙන බව ඔහු පැවසුවේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ද, ඔහු හා පක්ෂව අදහස් දැක්වූයේය. ඒකාබද්ධ විපක්ෂය එවැනි එකඟතාවයකට සහාය දැක්වීමෙන් වැළකී සිටීම වඩා යහපත් බව ගුණවර්ධන මහතා කීවේ ය.
නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ ඇතැම් ආරංචි මාර්ග සදහන් කළේ මේ අරබයා තවත් හේතු පවතින බවය. එම හේතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට එතරම් යහපත් ඒවා නොවේ.

එකක් වන්නේ මැතිවරණයකින් පසු රජය තනන ක්‍රියාවලියේ දී ජනපතිවරයා කෙසේ හැසිරෙනු ඇතිදැයි යන්නය. සිය බලය අවභාවිතා කර, අනපේක්ෂිත අයුරින් වෙනත් කණ්ඩායමකට රජය තනන ලෙස ආරාධනා කරන්නට ජනපතිවරයාට නොහැකි ද?, මෙවන් අදහස් මතුවෙමින් තිබෙන්නේ ජනපතිවරයාගේම ක්‍රියාකලාපය නිසා බව සැක නොමැතිවම කිව හැකිය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඒ දක්වා හිටපු අගමැති වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර – ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත් කර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය ව්‍යවස්ථා විරෝධීයැයි ප්‍රකාශයට පත්කරන තැනට වැඩකටයුතු කළ, ජනපතිවරයාගේ ක්‍රියාකලාපය තමන්ට කිසිසේත්ම අමතක නැති බව ඇතැම්හු නොසැඟවූහ.

පක්ෂයේ නිර්මාපකයා හැටියට අප ඉදිරියේ තිබෙන සෑම අවස්ථාවක්ම සහ විකල්පයක්ම කිරාමැන බැලීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටිනවා. ඔහු මේ පක්ෂය ශක්තිමක් පක්ෂයක් ලෙස ගොඩනගා තිබෙනවා” යයි එක් ආරංචි මාර්ගයක් වැඩිදුරටත් සදහන් කළේ ය.

අනෙක් අතට පොදු සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇතිවන එවැනි එකඟතාවයක් ඉදිරි ජනපතිවරණය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීම සදහා අනිවාර්යය අවශ්‍යතාවයක් බව පවසන අතර, එම නිසාම අදාළ කටයුතු තවදුරටත් ප්‍රමාද කළ නොයුතු බව ද කියයි.

විපක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා

අප නැවතත් පැමිණෙන්නේ මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණය සදහා ඉදිරිපත්වන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වනු ඇත්තේ කවුරුන්දැයි යන ගැටලුවටය.

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ හැකියාවක් තමාට ඇතැයි ජනපති සිරිසේන මහතා තවමත් සිතා සිටිනවා විය හැකි වුවත්, පොදු සන්ධානයක් ගොඩනැඟීම යතාර්ථයක් බවට පත්වන තත්ත්වයක වුව ද, ජනපතිවරයාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවස්ථාවක් ඇත්තේම නැති ගානය. ඒ හමුවේ ඔහුට ඉතිරි වන්නේ විකල්ප දෙකකි.

එකක් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දැක්වීමය. බොහෝ විට එම අපේක්ෂකයා වනු ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර සිටම ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගත් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ඔහු දැනටමත් පියවර ගෙන අවසන්ය.

අනෙක වන්නේ ජනපතිවරණයට තනිවම ඉදිරිපත්වීමය. එම විකල්පය තොරාගතහොත් ජනපති සිරිසේන මහතා හමුවේ නැගෙන අන්තරායන් දෙකකි. එය යෝජිත පොදු සන්ධානය හා අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන අවස්ථාව ව්‍යර්ථ කරන්නක් වනු ඇත. අමතරව, සිය පක්ෂයේම බහුතර සාමාජිකයන්ගේ සහාය තමා වෙත නොලැබෙනු ඇති තත්ත්වයකට මුහුණදීමට ජනපතිවරයාට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා පොදු සන්ධානයක් ඇති කරගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම සදහා ඇතිකරගත් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළත් නොකිරීම පක්ෂයේ යම් කලබලයක ඇතිවීමට හේතු වී තිබේ. එයට අමතරව, කොළඹ, මාතර, ගාල්ල, බදුල්ල, නුවර, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට නව මැතිවරණ සංවිධායකවරුන් පත්කිරීමට ජනපතිවරයා ගත් තීරණය ද බොහෝ දෙනෙකුගේ නොමනාපයට හේතු වී තිබේ.

ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව පත්කර තිබෙන නව සංවිධායකවරුන් අතරින් බහුතරය නවකයින්ය. අනෙක් දිස්ත්‍රික්කයන්වලටත් මැතිවරණ සංවිධායකවරුන් නම් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ. පොදු සන්ධානයක් ඇතිකර ගතහොත් දෙපාර්ශවය අතර නොයෙක් ගැටලු මතුවන බව සහතිකයෙන්ව කිව හැකිය. ඒ අරබයා මැතිවරණමය එකඟතාවයක් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇති අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ද ආසන කිහිපයක් වෙන් කිරීමටත් පියවර ගතයුතු වනු ඇත. එය ද බොහෝ කාලයක් ගතවන ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතුද නැත.

අයවැයත් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා එම කටයුතුවලට තවත් කාලයක් ගතවනු ඇත. මේ සියලු සිදුවීම් සැළකීමේදී, ඔහුගේම අගමැතිවරයා හා ගත් කළ, ජනපති සිරිසේන මහතා සිටින්නේ අතිශය අසීරු ස්ථානයකය. ඒවා මෙලෙසින් සම්පිණ්ඩනය කළ හැකිය

■    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන උනන්දුවෙන් ගම්‍ය වන ගැටලු එක පසෙකිනි
■    ඒකාබද්ධ මැයි රැලියක් පැවැත්වෙන්නේ ද නැත.
■    පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තිබූ අවස්ථාව ද වියැකී ගොසිනි.
■    එක්සත් ජාතික පෙරමුණු රජය හා එක්ව අමාත්‍යධූර ලබාගැනීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික කණ්ඩායමක් අදටත් ජනපති සිරිසේන මහතා සමග සිටින්නේ අමනාපයෙනි.
■    දූෂිතයින්ව නීතිය හමුවට පමුණුවන බවට මැතිවරණ සමයේ දී ඔහු දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨවී නැත.
■    අලුත් සිදුවීම් දිනෙන් දිනම මතුවෙමින් ඇතත්, ඔහු අත තිබෙන කාලය දිනෙන් දිනම ක්ෂයව යමින් තිබේ.
■    පොලිසියට දොස් පැවරීමට හැකියාව ඇතත් ජනපතිවරයා එසේ නොකරනු ඇතැයි කිව හැක්කේ එසේ කළහොත් එය බූමරංගුවක් මෙන් ඔහු වෙතම කැරකී පැමිණිය හැකි බැවිනි.
■    සිය රාජකාරියට බාධා එල්ල කෙරෙමින් වූ දේශපාලන අතපෙවීම්, විමර්ශනකටයුතු ප්‍රමාද කිරීම් ගැන ඇතැම් නිලධාරීන් මේ දක්වාම පවත්වාගෙන යමින් සිටින නිහැඩියාව බිද දමනු ඇතැයි පවතින බිය තවත් හේතුවකි.
■    ඔහු පවසන ආකාරයටම රටේ ආර්ථිකය ඇත්තේ අවුලෙන් අවුලට පත්වය.

ජනපතිධූරයේ තවත් මාස 7ක් ඉතිරිව ඇති ජනපති සිරිසේන මහතාට මේ සියල්ලෙන් වැදෙන්නට හැකි පහර ඉතාම බලවත්ය. නමුත් ඔහු, දේශපාලන අර්බුදයන් ගණනාවක් පසුකර පැමිණි, අත්දැකීම්වලින් පන්නරය ලැබූ, කෘතහස්ථ දේශපාලඥයකු බව අමතක කළ යුතු නැත.

ඉදිරි මාස 7ක කාලයේ ශ්‍රී ලංකා ජනතාව ඔහුව කෙසේ ඇගයීමට ලක්කරනු ඇතිදැයි යන්න ඉතාම වැදගත් කාරණයකි. ඇතැම් කාරණා නිවැරදි කිරීමට ඔහුට තවමත් කාලය ඇත. නමුත් ඔහු එසේ කරාවි ද?,
බහුතරයකගේ මුවඟ රැඳි පැනය එයයි.

One Response to “අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු”

  1. Christie Says:

    India and Indian Colonial Parasites want SLPP dead and Sirisena is the one selected to do it. But he is most likely to fail.

    That does not mean SLPP will have a free run.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress