සයිටම් ශිෂ්‍යයන්ට නීති විරෝධී ලෙස සීමාවාසික පත්වීම් ලබා දීම
Posted on March 21st, 2019

මාධ්‍ය නිවේදනයයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

වසන්තා පෙරේරා මහත්මිය,
සෞඛ්‍ය ලේකම්,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ,
මහත්මියණි,

සයිටම් ශිෂ්‍යයන්ට නීති විරෝධී ලෙස සීමාවාසික පත්වීම් ලබා දීමට උත්සහ කිිරීම හා සීමාවාසික වෛද්‍ය නිළධාරීන්ගේ රාජකාරි ආවරණය කරන වෛද්‍ය නිළධාරීන් සඳහා පොරොන්දු වූ පැය 180 අමතර සේවා වැටුප් නොගෙවීම සම්බන්ධවයි.

සයිටම් අර්බුදය නිසා මතුවූ විශේෂිත තත්වය මත මේ වන විට සීමාවාසික වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් නිර්මාණය වී ඇත. මෙයට පිළියමක් ලෙස නිර්මාණය කළ පොදු සේවා ලැයිස්තුව 2017 දෙසැම්බර් මස සීමාවාසික පුහුණුව අවසන් කර සිටි වෛද්‍ය නිළධාරීන් ස්ථිර පත්වීම් ලබා පිටව යාමත් සමඟ බිඳවැටීමක් සිදුවී ඇත. එමෙන්ම 2018 මැයි මස සීමාවාසික පුහුණුව අවසන් කර සිටි වෛද්‍ය නිළධාරීන් කණ්ඩායමද මේ වන විට ස්ථිර පත්වීම් අපේක්ෂාවෙන් පසුවන අතර ඔවුන් ද පත්වීම් ලබා පිට වීමෙන් පසු පොදු සේවා ලැයිස්තුව නොපවතිනු ඇත.


බොහෝ රෝහල් වල වෛද්‍ය නිළධාරී පුරප්පාඩු සහිත විශේෂඥ වෛද්‍ය ඒකක වල රාජකාරී ආවරණය කරනු ලැබුවේ සීමාවාසික පුහුණුව අවසන් කළ එහෙත් ස්ථිර පත්වීම් නොලද වෛද්‍ය නිළධාරීන් විසිනි. මේ අනුව විශේෂයෙන් ශික්ෂණ සහ මූලික රෝහල්වල (කායික රෝග, ළමා රෝග, ශල්‍ය වෛද්‍ය හා ප‍්‍රසව හා නාරිවේදී ඒකකවල) සීමාවාසික වෛද්‍ය නිළධාරීන්ගේ රාජකාරීන් ආවරණය කිරීමටත් පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිළධාරීන්ගේ රාජකාරීන් ආවරණය කිරීමටත් සිදුව ඇත්තේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිළධාරීන් වෙතය. මෙම තත්වය මත තව තවත් අමතර රාජකාරීන් ඉටු කිරීමට සියළුම වෛද්‍ය නිළධාරීන්ට සිදුවී තිබේ. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාව මත දැඩි පීඩනයක් ඇති කරන බැවින් ඔවුන්ගෙන් එම රාජකාරීන් ඉටුකරවා ගැනීමට නිසි වැඩපිළිවෙලක් වහාම සකස් කල යුතුව ඇත.

මේ වන විටත් 2018 සීමාවාසික පුහුණුව අවසන් කල කණ්ඩායමේ සැළකිය යුතු පිරිසක් රාජ්‍ය සේවය අතහැර ගොස් ඇති මොහොතක ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිළධාරීන් එම තත්වයට පත් වීම වැළැක්වීමට නොපමාව කටයුතු කලයුතු බව අපගේ අදහසයි. පොදු සේවා ලයිස්තුව සැකසීමේදී පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිළධාරීන් වෙත පොරොන්දු වූ පැය 180 අමතර සේවා දීමනාව නිසි ලෙස සියලූ දෙනාටම ගෙවීම කළ යුතුය. එමෙන්ම නව තත්වය මත හිඟ සීමාවාසික හා පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිළධාරීන්ගේ රාජකාරි ආවරණය කරන සියලූම ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිළධාරීන් සඳහාද එම දීමනාවම ලබා දීමට නොපමාව ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

කෙසේ වෙතත් පවත්නා තත්වය නිසි පරිදි විශ්ලේෂණය කර ගනිමින් වෛද්‍ය නිළධාරීන් අපහසුතාවයට පත් වීම මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීමට කටයුතු කල යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් තත්වය තවත් නරක අතට හරවා තිබේ. එනම් මෙම සංවේදී අවස්ථාව පදනම් කර ගනිමින් සයිටම් ශිෂ්‍යයන්හට හොර පාරෙන් සීමාවාසික පත්වීම් ලබා දීමට මෙන්ම මින් ඉදිරියට විදේශ වෛද්‍ය උපාධිධාරීන් සඳහා වෙනම සීමාවාසික පත්වීම් මෙන්ම ස්ථිර පත්වීම් ලැයිස්තු ලබාදීමට හැකිවන ලෙස කුමන්ත‍්‍රණකාරීව කටයුතු කරමින් සිටී.ඒ සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය අහෝසි කිරීම වෙනුවෙන් පන්ති වර්ජන සිදු කරමින් දැඩි කැපකිරීමි සිදු කරන ලද වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරමිනි.සයිටම් ශිෂ්‍යයන් සඳඟා ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරන ලද 2018 අංක 17 දරණ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත අනුව කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය තුළ හා වෛද්‍ය පීඨ තුළ නැවත වතාවක් දැඩි අර්බුදකාරී තත්වයක් ඇති වීම නොවැලැක්විය හැකිවනු ඇත.

මේ පිලිබඳව දැඩි අවධානයෙන් සිටින අප සංගමය කුමන්ත‍්‍රණකාරී මැදිහත්වීම් නවතා මහජන සෞඛ්‍ය සේවාව සුරැුකීම මෙන්ම වෛද්‍යවරුන් අපහසුතාවයන්ට පත්වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඉක්මන් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛය අමාත්‍යවරයාට බල කර සිටිමු.

ස්තූතියි.
මෙයට
විශ්වාසී
වෛද්‍ය ජයන්ත බණ්ඩාර – Jb Ekanayake (Facebook)
ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress