ධර්මය විකෘති කරන්නෝ 2 – මීවනපලානේ සිරිධම්මාලන්කාර
Posted on May 8th, 2019

adhimanasika

මි


**********බුදු දහම බාහිරින් තර්ක කර විනාශ කල නොහැකි නිසා මේ වන විට ශාසනයට ඇතුළු වී ශාසනය තුල ඉදිමින්ම ධර්මය විකෘති කරමින්බුදු දහම විනාශ කිරීම ආරම්භ වී ඇත.

එසේ කරන මාර පුත්‍රයන්ගේ ප්‍රධානම අවිය වන්නේ ඔබගේ ධර්ම දැනුමක් නැති කම පාලි දැනුමක් නැති කම හා භාවනා දියුණුවක් නැති කමයි
සිංහල බෞද්ධයනි
අද සිටම පාලි ඉගෙනගනිමටත් ත්‍රිපිටකය පරිශීලනය කිරීමටත් සමථ විදර්ශනා ප්‍රායෝගිකව වැඩීමත් ආරම්භ කරන්න

ඔවුන් ධර්මය විකෘති කර අහවල් පිටකයේ අහවල් දේශනාවේ මෙහෙම තියෙනවා: යයි කියති. එහෙත් ඇත්තටම එම දේශනාවේ ඇත්තේ වෙනත් යමකි. ඔබගේ නොදැනුවත් කම නිසා ඒ හාමුදුරුවෝ ත්‍රිපිටකේ තියෙන තැනත් කිවුව ඇත්ත වෙන්නැති හොදට ධර්මය දන්නා කෙනෙක්” යයි සිතා රැවටෙ.

තව පිරිසක් ත්‍රිපිටකයේ ඇති දේ කාලයත් සමග වෙනස් වී ඇති බවත් ඒවා වැරදි බවත් තමන්ට භාවනා කරන විට නිවැරදිම ක්‍රමය අසු වූ බවත් කියා මිනිසුන් රවටයි. මොවුන් ප්‍රයෝජනයට ගන්නේ ඔබගේ අඩු ප්‍රායෝගික දැනුමයි. තමන් සමථ විදර්ශනා භාවනා වඩා යම් තරමක හෝ දියුණුවක් අත් කරගෙන තිබේනම් සත්‍ය ධර්මය හා විකෘතීන් ඉතාම පැහැදිලිව වෙන් කර ගත හැකිවේ. තමන් සමථ විදර්ශනා ප්‍රගුණ කරන්නේ නම් ත්‍රිපිටක දේශනාවේ තිබෙන දේ කිසිදු වැරැද්දක් හෝ අඩුපාඩුවක් නොමැති බවත් ඒවා ඒ ආකාරයෙන්ම සිදුවන බවත් අත්දකින්න ලැබේ.

තවත් පිරිසක් ඔබගේ පාලි දැනුමේ අඩුව ප්‍රයෝජනයට ගනී. ඔවුන් කරන්නේ පාලි සිංහලට පරිවර්තනය වන විට වැරදීම් වී ඇතැයි කියා තමන්ගේ ක්‍රමයට පාලි අර්ථ දැක්වීමයි. එහෙත් පාලි දැනුමක් ඇති පුද්ගලයෙකුට ඔවුන් කරන රැවටීම ඉතාම හොදින් හදුනාගත හැකි වේ. සුත්‍ර දේශනා කියවන විට අනිත්‍ය, අනත්ත, සෝතාපන්න ආදී  විවිද ධර්ම වචන වල අර්ථ බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා විසින් අර්ථ දැක්වූ අවස්ථා විශාල ගනනක් තිබේ. මොවුන් ඒවාද විකෘති කර බුදුන් විසින් දැක්වූ අර්ථයද විනාශ වන ලෙස අමුතුම ක්‍රමකට පාලි පරිවර්තනය කරයි. විකෘති කළ පාලි ඇසීමට පෙර තමන්ට නිවැරදි පාලි පිලිබඳ හොඳ දැනුමක් තිබේනම් විකෘති පාලි හොදින් හඳුනාගත හැක. එහෙත් තමන්ට පාලි දැනුමක් නොමැතිනම් විකෘති පාලි නිවැරදි ඒවා ලෙස පෙනේ. ඒවා පිළිගත් විට නිවැරදි පාලි වැරදි ලෙස පෙනේ.

තවත් පිරිසක් සුපිරි දාර්ශනික ලෙස වචනයෙන් විවිද හරඹ දමමින් ධර්මය විකෘති කරයි.
සාම්ප්‍රදායික ක්‍රමයට නිවන් දකින්න බෑ කියා ධර්මයට ගරහයි. පරම්පරාවෙන් ආ පලියට් පොත පතේ තිබු පලියට පිළිනොගත යුතු බව කාලාම සුත්‍රයේ තිබෙනවා යයි කියා ත්‍රිපිටකය කෙරෙහි විශ්වාසය නැති කරයි. මේ සියලු දෙනාම මුලින්ම කරන්නේ ඔබගේ ධර්ම ශ්‍රද්ධාව නැති කිරීමයි. එවිට ධර්මය දන්නා කෙනෙකු ඔබට සත්‍ය කියාදුන්නද ඔබ එය පිළිගන්නට මැලිවෙ. බොහෝ විට මෙම විකෘති කිරීම් පිළිගන්නේ ඒවා ඇසීමට පෙර සත්‍ය ධර්මය විමසා නැති සතිපට්ටාන ආදී විදර්ශනා වඩා නැති පාලි දැනුමක් නැති පිරිසයි. ඔවුන් තමන් පළමු වරට අසන විකෘති ධර්මය නියම ධර්මය යයි සිතා පිළිගනී. එසේ පිළිගෙන සත්‍ය ධර්මයට හා සත්‍ය ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලාට ගරහයි.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවෑමෙන් පසු ශාස්තෘ ලෙස තබාගන්නා ලෙස දේශනා කලේ ධර්මයයි. පිවිතුරු ධර්මය තිබෙන්නේ ත්‍රිපිටක දේශනා තුලයි. පිවිතුරු ධර්මය දේශනා කරන්නේ ත්‍රිපිටක දේශනා විකෘති නොකර දේශනා කරන ස්වාමින් වහන්සේලායි. පිවිතුරු ධර්මය මිස ධර්මය මුවාවෙන් එන පුද්ගලික මත පිළිගැනීමෙන් වලකින්න. ශාසනයේ විනාශය ශාසනය තුලින්ම පැන නගින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එසේ දේශනා කරන්නට ඇත්තේ අනාගතයේ ධර්මය විකෘති කරන්නවුන් දිවැසින් දැකීමෙනි. ධර්මය ලෙස අධර්මය පිළිගෙන අතරමන් වීමෙන් වලකින්න. අද සිටම පාලි ඉගෙනගැනීම, ත්‍රිපිටක දේශනා කියවීම, සමථ විදර්ශනා සතිපට්ඨාන වැඩිම ආරම්භ කරන්න*****************
පිටිදුවේ සිරිධම්මට පසුව ධර්මය විකෘති කරන ප්‍රධානම පුද්ගලයා මීවනපලානේ සිරිධම්මාලන්කාරයි. මෙයා කරන්නේ පාලි සිංහලට පරිවර්තනය වෙනකොට වැරදිලා තියෙනවා කියල විකෘති පාලියකින් දේශනා අර්ථ දක්වල මිනිස්සු රවට්ටන එක. ඒක කරන්නේ පද ගලප ගලප බොරු හැදීමෙන්. පාලි හරියට සිංහලට පරිවර්තනය කරන්නේ නැතුව පාලි වචන වල තියෙන සිංහල කෑලි වෙන් කරලා විකෘති අර්ථයක් දක්වනවා. පාලි ඉගෙනගෙන නැති පාලි දන්නෙත් නැති සිංහල දන්නෙත් මිනිස්සු මේ බොරු වලට අහුවෙනවා. පාලි වචන දෙකට තුනට කඩල විකෘති තේරුමක් කියල මීවනපලානේ කියනවා අර්ථ ධර්ම නිරුක්ති හරියට වෙන් කරලා කියනවා කියල.
මීවන තමන්ව මාර්කට් කරගන්න පතුරවන ප්‍රධාන කතාව තමයි අර්ථ ධර්ම නිරුක්ති සහිතව ධර්මය දේශනා කරනවා කියන එක. මේ වටෙන් පිටෙන් කියන්නේ තමන්ට බුද්ධ ඥාන තියෙනවා කියල. අර්ථ ධර්ම නිරුක්ති ධර්මය විකෘති කරන්නෙක්ට තියා රහතන් වහන්සේ නමකටවත් පනවන්න බෑ. අර්ථ ධර්ම නිරුක්ති පනවන ඥාණය බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ.
අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං”
ආදී විදියට කියන්නේ දෙසැත්තැ ඥාන ගැන. පිටිදුවේ වගේම තමන් බුදු කෙනෙක් වගේ කියල කියාගන්නයි මේ අර්ථ ධර්ම නිරුක්ති කතාවක් කියන්නේ. මීවන කරන්නේ අර්ථ ධර්ම නිරුක්ති ඇතුව කියන එක නෙවෙයි අර්ථය විකෘති කරන එක.

මාගධී විකෘති කරපු හැටි
මීවනපලානේ ඉස්සෙලම කියන කතාව තමයි පාලි කියල භාෂාවක් නෑ ඒ කාලේ භාවිතා උනේ මාගධී භාෂාව කියන එක. මාගධී කියන්නේ මාග+අධි= අධිගමයට මග කියල කියනවා. ඇත්ත ඒක නෙවෙයි. මගධ රාජධානිය තමයි බුද්ධකාලීන භාරතයේ ප්‍රධානම රාජධානිය. එය එකළ පාලනය කළේ බිම්බිසාර රජු. එම රාජධානිය ඇසුරු කරගෙන බහුලව භාවිත කළ භාශාව පාලි භාශාව. රටේ නම මගධ නිසා එය මාගධි භාශාව ලෙස හඳුන්වනවා. මාගධි සහ පාලි කියන්නේ එකම භාශාවට. මේ විස්තරය ලංකාවේ ඉතිහාසේ වගේම ඉන්දියාවේ ඉතිහාසෙත් තියෙනවා. මාගධී පාලි උනේ කොහොමද කියලා නොදන්නා මිනිස්සු පලවෙනි පාරට මිවනගේ බොරුව ඇහුවම ඒක ඇත්ත වෙන්නැති , පාලි පරිවර්තනය කරන විදියට මාගධිත් පරිවර්තනය කරපු නිසා වරදින්නැති කියල අහුවෙනවා. එයාලා දන්නේ නෑ පාලි කියන්නේ මාගධිමයි කියල. මෙයා කියන හැටියට අද භාවිතා වෙන සිංහලම තමා බුදුන් වැඩ ඉදපු කාලෙත් තිබිලා තියෙන්නේ. මොන මෝඩ තර්කයක්ද ඒක. බුදුන් වැඩ ඉදපු කාලේ ලංකාවේ භාවිතා උන භාෂා සම්පුර්ණයෙන්ම පරිණාමය වෙලා අද තියෙන භාෂා තියෙන්නේ.

IMG_0478
IMG_0476
IMG_0477

සෝතාපන්න විකෘති කිරීම
පිටිදුවේ පටිසෝතගාමී වචනය විකෘති කළා වගේම මීවන සෝතාපන්න වචනය විකෘති කරනවා. සෝත+ආපන්න කියන්නේ ශ්‍රවණයෙන් මාර්ගයට ආවා කියන එකලු. භාවනා කරලා කාටවත් සෝතාපන්න වෙන්න බැලූ. ඉස්සෙල්ලම බන අහල සෝවාන් වෙලා ඊටපස්සේ භාවනා කරන්න ඕනිලු. මෙහෙම කියල තමා මිනිස්සු භාවනා කරලා ඇත්ත දැනගන්න එක නවත්තලා හරක් ගාල වගේ තමන්ගේ පස්සේ ගෙන්නගන්නේ. මොකද සමථ භාවනාවක් යම් තරමකට හෝ දියුණු උනානම් මිවනගේ බොරුව හොදට තේරෙනවා. විදර්ශනා භාවනා, සතිපට්ටාන භාවනා එක දවසක් කලානම් ඇති විකෘතිය අදුරගන්න. භාවනා කරන්න අකමැති භාවනාව දියුණු නොවෙන මිනිස්සු මේ වගේ බොරු ඇහුවම උඩදාගෙන මේවා පස්සේ යනවා තමන්ට ගැලපෙන ජාතියේ එකක් නිසා. සෝතාපන්න වෙනවා කියන එකේ නියම තේරුම සුත්‍ර දේශනා විශාල ගණනක තියෙනවා.
සෝතාපන්න කියන එකේ තේරුම සැඩ පහරට = මාර්ගයට=ප්‍රවාහයට පිළිපන් කියන එක.   ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් හා මහා රහතන් වහන්සේලාගෙන්
ස්වාමිනි සෝතාපන්න සෝතාපන්න යයි කියනු ලැබේ,කුමක් හෙයින් සෝතාපන්න වේද?” කියල විමසුවාම
සතර අපායෙන් මිදෙන මාර්ගයට පිළිපන් නිසා සෝතාපන්න යයි කියනු ලැබේ” කියල තියෙන අවස්ථා ඕන තරම් සුත්‍ර දේශනා වල තියෙනවා. කොතනකවත් ශ්‍රවණය කිරීමෙන් පිළිපන් නිසා සෝතාපන්න කියනවා කියල කිසිම දේශනාවක නෑ. මෙහෙම ඉතා පැහැදිලිව තියෙන කරුණු තමයි මීවන විකෘති කරලා දක්වන්නේ.

ත්‍රිපිටක දේශනා වල ඕනෑතරම් අවස්ථා තියෙනවා ස්වාමින් වහන්සේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් තොරව භාවනා කිරීමෙන් පමණක්ම මාර්ගපල ලබපු අවස්ථා. චුල්ල පනතක හාමුදුරුවෝ රහත් උනේ රෙදි කැබැල්ලක් අපිරිසිදු වෙන නිමිත්ත ප්‍රගුණ කරලා මිසක් බන අහල නෙවෙයි. ධර්ම දේශනයෙන් පමණක් කෙනෙක්ට සත්‍යාවබෝධ කරවන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. අහඹු විදියට වෙනත් කෙනෙකුගෙන් ධර්මය අහල මාර්ගපල ලබන්න අවස්තාවක් තියෙනවා. ඒත් උවමනාවෙන් කරවන්න හැකියාවක් නෑ. ඒකට හේතුව ඉන්ද්‍රියපරෝපරියත්ත ඥාණය තිබෙන්නේ බුදු කෙනෙකුට විතරයි. පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබෙන ආකාරය අනුව සත්‍යාවබෝධ වීමට දේශනා කළ යුතු දේ පෙනෙන ඥාණය තිබෙන්නේ බුදු කෙනෙකුට විතරයි. මීවන කියන විදියට අනිවාර්යෙන් බන අහලම සෝවාන් වෙන්න ඕනිනම් සියලුම දේශකයන් බුද්ධ ඥාන තියෙන අය වෙන්න ඕනි. ධර්මය දේශනා කරන අතර ශ්‍රාවකයන්ගේ හිත් සමාධිගත කරවන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි.

අනික සෝවාන් වීමේදී වෙන්නේ සක්ඛාය දිට්ඨි ,සීලබ්බත පරාමාස, විචිකිච්චා කියන කෙලෙස් සම්පුර්ණයෙන් දුරු වීම. කෙලෙස් දුරුවිමක් වෙන්න අනිවාර්යෙන් බන අහන්නම ඕනි කියන එකේ පදනමක් තියෙනවද? කෙලෙස් නිවෙන්න වැඩි අවස්තාවක් තියෙන්නේ නිකම් බන අහන වේලාවේද නැත්තම් හිත එක්තැන් වෙලා තියෙන වේලාවකද? කෙලෙස් නිවීම සිද්දවෙන්නේ සත්‍ය අරමුණු උනාම. ඒ කියන්නේ කයේ, මනසේ, ලෝකයේ, අභ්‍යන්තර ,බාහිර අනිත්‍ය දුක්ඛ අනාත්ම ගති තේරෙනකොට. සත්‍ය අරමුණු වෙන්නේ එක්තැන් උන හිතකට විතරයි. සමාධිය නැති හිතක් කවදාවත් ප්‍රඥාව ලගා කරගන්නේ නෑ. බුදුන් ධර්ම දේශනා කරනකොට මිනිස්සු සත්‍යාවබෝධ කරන්නේ බුද්ධානුභාවයෙන් මිනිස්සුන්ගේ හිත් වල සමාධිය ඇතිවෙන විදියට ධර්මය දේශනා කරන නිසා. නැතුව ධර්ම දේශනා කිරීමෙන් විතරක් සෝවාන් වෙන හින්දා නෙවෙයි. බුදුන් වැඩ ඉදපු කාලේ ජිවත් උන අය ධර්මය ශ්‍රවනයෙන්ම සත්‍යාවබෝධ කලේ එයාලා පෙර ආත්ම වල විදර්ශනා වඩලා තියෙන නිසා.

සෝතාපන්න වෙන්න භාවනා කිරීම අත්‍යවශ්‍යයි!
බුදුන් වැඩ හිටපු කාලේ මිනිස්සු ධර්මය ශ්‍රවණයෙන් පමණක් සෝතාපන්න උනේ එයාලා පෙර ආත්ම වල විදර්ශනා බහුලව වඩා තියෙන නිසා. අනිත්‍ය අනාත්ම සංඥා පුරුදු කරලා තියෙන නිසා. ඒ නිසා ධර්මය ඇහෙනකොටම හිත සමාධිගත වෙලා විදර්ශනා සංඥා ඇතිවෙලා සත්‍ය අරමුණු වෙනවා. එතනත් සමාධිය තුළිනුයි සත්‍යාවබෝධය උනේ.

එහෙම නැත්තන් බුදුරජාණන් වහන්සේට අළුයම නැගිටලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද කාටද පිහිටවෙන්නේ කියල හොයල බලන්න දෙයක් නෑනේ? ඔහේ අහුවෙන අහුවෙන කෙනාට බන කියන යන්න පුළුවන්. එහෙම කලේ නෑ. බුදුරජාණන් වහන්සේ මුලින්ම හොයල බැලුව පෙර ආත්ම වල විදර්ශනාව පුරුදු කරපු ලේසියෙන් අනිත්‍ය අනාත්ම ලක්ෂණ අරමුණු වෙන අය බලලා ඒ අය හොයාගෙන ගිහින් ධර්මය දේශනා කළා.ඒ අතරේ සාමාන්‍ය ජනයාටත් ධර්මය දේශනා කළා.

එහෙම ධර්ම ශ්‍රවනයෙන්ම සත්‍යාවබෝධ කරන්න පුළුවන් පින් සහිත අය, පෙර භව වල විදර්ශනා වැඩු අය බුදුන් වැඩ හිටපු අවදියේ ඉපදිලා මාර්ගඵල වලට පත් උනා. ඒ වගේ අය ඉවරවෙලා ඉවරවෙලා ගිහින් තමයි දැන් මේ ඉන්න අපි ඉතුරුවෙලා තියෙන්නේ. මේ කාලේ අපිට බුද්ධ කාලේ අයට වගේ ධර්මය අහපු ගමන් සත්‍යාවබෝධ වෙන්නත්තේ අපි පෙර ආත්ම වල විදර්ශනා වඩා නැති හින්දා මිසක් දේශනාවේ වැරද්දක් නිසාවත් දේශනාව සිංහලට පරිවර්තනය කරනකොට උන වැරද්දක් නිසාවත් නෙවෙයි.

ඒ නිසා අපි මේ කාලේ අපි ධර්මය අවබෝධ කරන්න අනිවාර්යෙන් විදර්ශනා සතර සතිපට්ඨාන වඩන්න ඕනි. අපිත් බුදුන් වැඩ ඉදපු කාලේ හිටියා. බණත් ඇහුවා. ඒ උනාට අපිට ධර්මය අවබෝධ උනේ නෑ අපි ධර්මය අවබෝධ කරගන්න තරම් නුවණ වඩලා තිබුනේ නැති නිසා. රූපය අනිත්‍යයි කිවුවම අනිත්‍යයි කියල තේරුනේ නෑ අනිත්‍ය සංඥාව පුරුදු කරලා තිබ්බේ නැති නිසා. ඒ නිසා සෝතාපන්න වෙන්නේ භාවනාවෙන් නෙවෙයි ධර්මය ශ්‍රවණයෙන් කියන ධර්ම විකෘතියන්ට අහු නොවී අද ඉදන්ම සතර සතිපට්ඨානය වඩන්න පටන්ගන්න

සම්මා විකෘති කරපු හැටි
සම්මා කියන එකේ හරි තේරුම උසස්, නිවැරදි, උතුම් කියන එක. මීවන මේක විකෘති කරනවා සං+මා = සං + නැති කියල. සං කියන්නේ කෙලෙස් කියන එකලු. ඔහොම තේරුමක් පාලි භාෂාවේ කොහෙවත් නෑ.
බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් නවීන විද්‍යාව නිසා තහවුරු උන එක කාරණයක් තමයි විශ්වය හැකිලෙමින් දිගහැරෙමින් පවතිනවා කියන එක. ඒක ලෝකප්‍රසිද්ද Bigbang theory එකේදී විද්‍යාඥයන් පිලි අරන් තියෙනවා. බුද්ධ දේශනාවේ ඒක සඳහන් වෙන්නේ සංවට්ටමාන විවට්ටමාන කියල. සංවට්ට කියන්නේ හැකිලෙනවා කියන එක. මිවනගේ පාලි හැටියට මෙතන සංවට්ටමාන කියන්නේ රාග ද්වේශ මෝහ වට්ටියකට දාලා මනිනවා කියන එකද?

විනය විකෘති කිරීම
ධර්ම විනය දෙකෙන්  විනය කියන්නේ වි+ නය කියන එකලු .නය නැති වීමලු. විනය කියන්නේ සංවර වීම සීලය කියන අර්ථය නෙවෙයිලු. එතකොට විනය පිටකයේ සිල් ගැන සංවර වීම ගැන තියෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ විනයෝ නාම ශාසනස්ස ආයු” කියල දේශනා කලේ භික්ෂුන්ගේ සංවර කම මත ශාසනයේ පැවැත්ම රඳා පවතින නිසා. ඒක නෙවෙයිද අද ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ? නය නැති උනාමද ශාසනයේ පැවැත්ම වැඩි වෙන්නේ? මෙයා කියන හැටියට අද භාවිතා වෙන සිංහලම තමා බුදුන් වැඩ ඉදපු කාලෙත් තිබිලා තියෙන්නේ. නයවිමට ඒ කාලේ කියල තියෙන්නෙත් නය කියලද? බුදුන් වැඩ ඉදපු කාලේ ලංකාවේ භාවිතා උන භාෂා සම්පුර්ණයෙන්ම පරිණාමය වෙලා අද තියෙන භාෂා තියෙන්නේ. මෙයා කරන්නේ අර්ථය විකෘති කරන්න පුළුවන් පාලි වචන අරන් ඒවා කෑලි කරලා ඒවායේ තියෙන සිංහල වචන වලට සමාන කොටස් වලට සිංහල තේරුමක් දීලා අර්ථය විකෘති කරන එක.

තන්හා රති රඟා විකෘති කිරීම
තන්හා රති රඟා කියන්නේ රාග ද්වේශ මෝහ කියල මීවනපලානේ කියනවා.
තන්හා = තැනකට හා විමලු, රති= රත් වීමලු, රඟා= රංගනයකට මුලා විමලු.
මේවා බැලුවම මොලේ තියෙන කෙනෙක්නම් තේරෙනවා මෙයා කොහොමහරි වචන ගැටගහනවා මිසක් පද ගැලපීමේ මෙලෝ පිලිවෙලක්වත් නෑ කියන එක. තන්හා කියන එක විකෘති කරන්න තන් + හා කියල දෙකට කැඩුවා. රති කියන එක දෙකට කඩන්න බැරි නිසා සම්පුර්ණ වචනෙම විකෘති කළා. රඟා කියන එකට එක වචනෙක තේරුමක් දුන්නොත් රඟනවා කියල විතරයි එන්නේ. එතකොට ඒක මෝහයට ගලපන්න විදියක් නෑ. ඒ නිසා රඟුමකට මුලාවිම කියල අලුතින් කෑල්ලකුත් දැම්මා. මේ ටික බැලුවම හොදට පේනවා විකෘති කිරීමේ උවමනාව කොච්චර තියෙනවද කියල. අනික මෙයා මෙවදිත් පාවිච්චි කරලා තියෙන්නේ මේ කාලේ භාවිතා කරන සිංහල වචන. මේ සිංහල වචන බුදුන් වැඩ ඉදපු කාලේ පාවිච්චි කලේ නෑ.

ත්‍රිලක්ෂණය විකෘති කිරීම
මීවන ත්‍රිලක්ෂණය විකෘති කරපු ටික පිළිගන්න අය ඉන්නවනම් ඒ අනිවාර්යෙන්ම දහම්පාසලේ පාලි ටිකවත් හරියට ඉගෙනගත්තේ නැති අය. නැත්තම් ජිවිතේට දහම්පාසල් ගිහින් නැති අය. මොකද දහම්පාසලේ උගන්නන පාලි වල විභක්ති වර නැගීම කොටස ඉගෙනගත්තනම් මිවනගේ ත්‍රිලක්ෂණ විකෘති 3 අහල විතරක්ම මෙයා ධර්මය විකෘති කරන්නෙක් කියල පැහැදිලිවම අදුරගන්න පුළුවන්. මේක කියවන මිවනගේ බොරු පිළිගන්න කෙනෙක් ඉන්නවනම් තමන්ගෙන්ම අහන්න මම දහම් පාසල් ගියාද? දහම් පාසලේ පාලි  හරියට ඉගෙන්ගත්තද?” කියල. මිවනගේ බොරු පිළිගන්න කාටවත් ඕකට ඔව්” කියල උත්තරය හිතින් එන්නේ නෑ.
මීවන කියනවා අනිච්ච කියන්නේ අනිත්‍ය කියන එක නෙවෙයිලු. අනිච්ච = අන+ඉච්ච = කැමති විදියට පවත්වන්න බැරි එකලු. ඒ කියන්නේ අනාත්මය කියන තේරුමලු. අනිච්ච කියන එක විභක්ති වර නැගෙන්නේ අන+ ඉච්ච කියල නෙවෙයි අ + නීච්ච කියල. ඒ කියන්නේ නිත්‍ය නොවන කියන එක. අනික ඉච්ච කියන එකේ තේරුම කැමැත්ත කියන එක මිසක් කැමති විදියට පැවැත්වීම කියන එක නෙවෙයි. ඕන තරම් ත්‍රිපිටක බුද්ධ දේශනා වල ඉච්ච හා අනිච්ච් කියන එක යෙදිලා තියෙනවා. ඒ කිසිම තැනක ඉච්ච කියන එක කැමති විදියට පැවැත්වීම කියන අර්ථයෙන් යෙදිලා නෑ. ත්‍රිපිටක දේශනා කියවල නැති මිනිස්සු ඒක දන්නේ නැති නිසා වචනයේ ප්‍රායෝගික යෙදීම් පිලිබඳ  දැනුමක් නැති නිසා වචනේ විතරක් විකෘති කරපු එක ඇත්ත කියල පිලිගන්නවා.
අනාත්ම කියන එකත් විකෘති කරනවා අනාත්ම කියල පාලි වචනයක් නෑ තියෙන්නේ අනත්ත , එකේ තේරුම අනාත වීම කියල. අනත්ත වචනේ ත්‍රිපිටක දේශනා වල යෙදිලා තියෙන තැන් කියෙව්වනම් අනාත වීම කියන අර්ථය ඒ කිසිම තැනකට ගැලපෙන්නේ නෑ කියල තමන්ටම බලාගන්න පුළුවන්.
මේ මොන දේ නැතත් ත්‍රිපිටක දේශනා 100කට වැඩි ගණනක අවස්ථා සඳහන් වෙනවා ස්වාමින් වහන්සේලා බුදුන්ගෙන් හා රහතන් වහන්සේලාගෙන් විමසනවා ස්වාමිනි අනිත්‍ය අනිත්‍ය කියනවා කුමක් හෙයින් අනිත්‍ය ලෙස කියනවාද කියල. එතකොට බුදුන් හෝ රහතන් වහන්සේලා උත්තර දෙනවා නැසී වැනසී යන හෙයින් විපරිණාමයට ලක් වන හෙයින් අනිත්‍ය යයි කියනු ලැබේ කියල.
උදා:-ගිරිමානන්ද සුත්‍රය:

කතමාචානන්ද අනිච්ච සඤ්ඤා..ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතොවා.රුක්ඛමූලගතොව.සුඤ්ඤාගාර ගතොවා. ඉතිපටිසංචික්ඛති. රූපං අනිච්චං වේදනා අනිච්චා,සඤ්ඤා අනිච්චං සංඛාර අනිච්චා විඤ්ඤාණං අනිච්චන්ති. ඉති ඉමෙසු පඤ්චුපානක්ඛන්දේසු අනිච්චානුපස්සි විහරති.

ආනන්දය…මේ ශාසනයේ භික්ෂුව ආරන්යයකට,රුක්ඛ මූලයකට,පාලු හිස් ගෙයකට යයිද,එහෙමෙ ගිහින් මේ ආකාරයට නුවණින් සලකා බලනවා. රූපය සදාකාලික නැහැ. නිත්‍ය නැහැ. රූපයේ හටගැනීමත් දකිනවා. රූපයේ පැවැත්මත් දකිනවා. රූපයේ නැතිවීමත් දකිනවා.අනිත්‍යයි. වේදනාව අනිත්‍ය යි.සංඥාව අනිත්‍ය.යි.සංඛාරය අනිත්‍ය යි.විඤ්ඤාණය අනිත්‍යයි. මෙසේ මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහිම අනිත්‍ය ලක්ෂනය නැවත නැවත දකිමින් වාසය කරනවා. ආනන්දය මේ අනිත්‍ය සංඥාවයි කියනු ලබනවා.

තත්ථ කතමා අනිච්ච සඤ්ඤා, සබ්බෙ සංඛාර උප්පාද වයධම්මිනොති, යා සඤ්ඤා සන්ජානනා,වවත්ථපනා උග්ගාහො, අයං අනිච්ච සඤ්ඤා. තස්සා ඛො නිස්සන්දො,අනිච්ච සංඤ්ඤාය භාවිතාව බහුලිකථාය අට්ඨසු ලොකධම්මෙසු චිත්තං නානුසන්ධති න සන්ධති න සන්ඨහති උපෙක්ඛා වා පටික්කූලතා වා සන්ඨහති. අයමස්සා නිස්සන්දො

අනිත්‍ය සංඥාව කුමක්ද?

සියලු සංස්කාරයෝ ඉපදීම සහ වැනසීම ස්වභාව කොට ඇත්තේය යනුවෙන් කිසියම් සංඥාවක් පිලිබඳ දැනගැනීමක් නිශ්චය කිරීමක් ගැනීමක් වේද ඒ අනිත්‍ය සංඥාවයි.මේ සංඥාව බහුල වශයෙන් වැඩූකල අටලෝ දහම කෙරෙහි සිත නොබැඳෙයි. නොසිටියි. නොපිහිටයි. උපෙක්ෂාව හෝ පිලිකුල පිහිටයි.

anithya


මෙන්න මේ නිසා තමයි මම පොස්ට් එකේ මුලින්ම දැම්මේ ත්‍රිපිටක දේශනා හා පාලි ඉගෙනගන්න කියල. ත්‍රිපිටක දේශනා කියවනවානම් මිවනගේ බොරු බේගල් ඇත්තද කියල ත්‍රිපිටකයට ගලපලා බැලුවම ඒවායේ තියෙන විකෘති හොදටම අදුරගන්න පුළුවන්.

මජ්ජිමා පටිපදාව විකෘති කිරීම
මීවන මජ්ජිමා පටිපදාව විකෘති කරනවා මජ්ජි+මා +පටිපදා = මත් වීමෙන් වැළකීමේ ප්‍රතිපදාව කියල. බුදුරජාණන් වහන්සේ මජ්ජිම ප්‍රතිපදාව ගැන දේශනා කරලා තියෙන හැම තැනකම කාම සුඛල්ලිකානු යෝගය, අත්ත කිලමතානු යෝගය දෙකෙන් වෙන් වෙලා අන්ත දෙකට නොයා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණීමක් ගැන දේශනා කරලා මිසක් මත් වීමක් කොහෙවත් දේශනා කරලා නෑ. මජ්ජි කියන්නේ මත් වීමනම් අන්ත දෙකෙන් මිදීමක් ගැන කියන්න අවශ්‍යතාවක් නෑනේ? මජ්ජිම පටිපදා කියන්නේ අන්ත දෙකට නොයා මැදුම් පිළිවෙත අනුගමනය කරනවා කියන මිසක් මත්වීමෙන් මිදීමක් නෙවෙයි. අනික මජ්ජිමා කියන වචනය වෙනත් තැන් ගොඩක යෙදිලා තියෙනවා මැද කියන අර්ථයෙන්. මජ්ජි +මා= මත්විමෙන් වැලකීම කියල කිසිම ත්ර්පිටක දේශනාවක යෙදිලා නෑ.

මීවන කියනවා අයං වස්සාන කාලෝ කියන්නේ මම කළු කෙලෙස් නසමින් වාසය කරනවා කියලලු. මේකෙන් හොඳට තෙරුන් ගන්න පුළුවන් මෙයාගේ පාලි දැනුමක් නැති කම ගැන. මම කියන එකට අහං කියල මිසක් අයන් කියල කොහෙවත් යෙදෙන්නේ නෑ. අනික වාසය කිරීමට වස්සා කියල කියන තැනක් කොහෙවත් නෑ. එහෙම වෙනවනම් වස්සා කියල දාන්න බෑ වස්සාමි කියල යෙදෙන්න ඕනි. මේවා බැලුවාම තේරෙනවා මේ මීවන කියන පුද්ගලය පිරිමියා කියන්නේ පිරිමියෙක් නෙවෙයි ගැහැනියක් කියල උනත් විකෘති කරලා කියන ජාතියේ මෙලෝ විචාර බුද්ධියක් නැති මානසික රෝගියෙක් කියල. තමන්ට හිතෙන හිතෙන විදියට මෙලෝ පදනමක් නැතුව වචන කඩ කඩ විකෘති අර්ථ දැක්වීමක් විතරයි මෙයා කරන්නේ. නිවැරදි පාලි නොදන්නා මිනිස්සු ත්‍රිපිටක දේශනා පරිශීලනය කරලා නැති මිනිස්සු මේ බේගල් ඇත්ත කියල පිලිගන්නවා.

මරණම්පි දුක්ඛා කියන එකේ තේරුම මරණයත් දුකකි කියන එක නෙවෙයි ප්‍රිය අයගේ මරණය දුකක් කියන එකයි කියලා මීවන කියනවා. හැබැයි ඒක කියන වෙලේ මිවනට අමතක වෙලා ජාතිපි දුක්ඛං කියලත් එකක් තියෙනවා කියල. එතකොට ප්‍රිය අයගේ ඉපදීමත් දුකක් වෙනවද? මොන ලෝකෙද ප්‍රිය කෙනෙක් ඉපදුනාම දුක් වෙන්නේ? මිවනගේ විකෘති කිරීම් අතේ පත්තු වෙන ජාතියේ  බොරු ටිකක්. ඒත් ඒවා අහගෙන ඉන්න මිනිස්සුන්ට ඒවා ප්‍රශ්න කරන්න තරම් විචාර බුද්ධියක් නෑ. අඩුමගානේ සාමාන්‍ය තර්ක දැනුමක් තිබ්බනම මේ කාරණේ තේරුම්ගන්න තිබ්බා.

බුද්ධං සරණං ගච්චාමි විකෘති කිරීම
බුද්ධං සරණං ගච්චාමි කියන එකත් මීවන විකෘති කරනවා බව උදුරා සසර සැරිසැරීම නවතන ගමන යමි” කියල. එතකොට ධම්මං සරණං ගච්චාමි කියන්නේ  ධර්මය උදුරා සසර සැරිසැරීම නවත්තනවා කියන එකද?  මිනිස්සු බුදුන් සරණ යන එකත් නවත්තන්න වැඩ කරන දේවදත්ත කෙනෙක් මීවනපලානේ කියන්නේ. නිවැරදි ධර්මය දන්න කෙනෙක් මෙහෙම කරයිද? අඩුමගානේ මේ කරන වැඩෙන් තමන්ට වෙන විපාකය පිළිගන්නවානම්  මෙහෙම බුද්ධ ධම්ම සංඝ සරණ යාම විකෘති කරයිද? මෙහෙම කරන්නේ අඩුමගානේ කර්මයවත් විශ්වාස නොකරන පුද්ගලයෙක් නිසා. ධර්මය විකෘති කිරීමෙන් තමන්ට මුකුත් වෙන්නේ නෑ කියල බයක් නැති නිසා. කර්මය පිළිගැනීම කියන්නේ ලෞකික සම්මා දිට්ඨියේ අංගයක්. ලෝකෝත්තර මට්ටමේ රහතෙක් තියා මෙයා ලෞකික සම්මා දිට්ඨියවත් නැති මිත්‍යාදෘෂ්ඨිකයෙක්.

ඒතං මංගල මුත්තමන්” කියන්නේ එය මගුල් සක්වලෙන් මිදීමක්” කියන එකයි කියල මීවන කියනවා. මහා මංගල සුත්‍රයේදී දේශනා කලේ මංගල කාරණා නෙවෙයිලු මගුල් සක්වලෙන් මිදෙන කාරනාලු. එතකොට සුත්‍රය පටන්ගන්න තැන බහූ දේවා මනුස්සා ච මංගලානි අචින්තයුං   කියල තියෙන්නේ ඇයි? මංගල කියන්නේ මංගල කරුණු කියන එක නෙවෙයිනම් මගුල් සක්වල කියන එකනම් දෙවියන් ඇවිත් මගුල් සක්වල මොකක්ද කියල ඇහුවම මගුල් සක්වල කියන්නේ මොකක්ද නොකියා මගුල් සක්වලෙන් මිදීම මොකක්ද කියල කියන්නේ නෑනේ? මංගල යනු කුමක්ද කියල ඇහුවම මංගල යනු මේවාය කියල කියනවා මිසක මංගල වලින් ඉවත් වීම මොකක්ද කියල කියන්න තරම් බුදුරජාණන් වහන්සේ මීවනපලානේ වගේ වයර් මාරු උන කෙනෙක් නෙවෙයි. මංගල කියන්නේ මගුල් සක්වලක් කියල කියන්න මීවන පාවිච්චි කරන්නේ මහා මංගල සුත්‍රයේ තියෙන්නේ මංගල මුත්තමං කියල මිසක් මංගලන් කියල නෙවෙයි කියන එක. මංගල මුත්තමන් කියන්නේ මගුල් සක්වලෙන් මිදීම කියන එකලු. මුත්තමන් කියන වචනේ කොහෙවත් මිදීම කියල යෙදිලා නෑ. එතන් මංගල මුත්තමං කියන්නේ එය මංගල කරුණකි උතුම් කියන එකයි. මුත්තමං කියන්නේ උතුම් කියන එක. උත්තමන් කියන එක යෙදෙන තව විදියක් මුත්තමං කියන්නේ. ඒ විදියට යෙදෙන තව තැන් ඕන තරම් තියෙනවා, උදා:-

යස්‌සමූලේ නිසීදිත්වා – සත්තාහං ලෝක නායකෝ
විමුක්‌ති සුඛ සංවේදී – වන්දේ තං බෝධි මුත්තමං

බුදුරජාණන් වහන්සේ යම් බෝධියක්‌ මුල වැඩ සිට සත් දිනක්‌ විමුක්‌ති සුවය වින්දේද ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේ මම වඳිමි
මෙතැනදී කියල තියෙන්නේ බෝධියෙන් මිදීමක් ගැනද?

මීවනපලානේ කරන්නේ අර්ථය විකෘති කරන්න පුළුවන් පාලි වචන අරන් ඒවා කෑලි කරලා ඒවායේ තියෙන සිංහල වචන වලට සමාන කොටස් වලට සිංහල තේරුමක් දීලා අර්ථය විකෘති කරන එක. පාලි නොදන්නා මිනිස්සු පලවෙනි පාරට ඉගෙනගන්න මේ විකෘති පාලිය ඇත්ත කියල හිතනවා. පාලි දන්නේ නැතත් ධර්මය ප්‍රගුණ කරලා තියෙනවානම් සමථ හෝ විදර්ශනා භාවනා වඩා තියනවනම් මේ විකෘති වලට අහුවෙන්නේ නෑ. අලුත් එකක්” හැංගිලා තිබුන එකක්” රහතන් වහන්සේලා කියන එකක්” කියල මාර්කටින් දැම්මම ජිවිතේට ධර්මය අතගාලවත් නැති මිනිස්සු පෝලිම් පිටින් ගිහින් අසාමාන්‍ය වගේ පෙන ලස්සන බොරු බන පිලි අරන් සාමාන්‍ය වගේ පේන ඇත්ත ධර්මය ප්‍රතික්ෂේප කරනවා.
තව ටිකක් කල් ගියාම  මිවනගේ පාලි වල හැටියට රාජා භවතු ධම්මිකෝ” කියන්නේ රජු ධාර්මික වේවා කියල නෙවෙයි ධම්මික රජ බවට පත්වේවා කියල කියයි.

***මාගධී ගැන පාලි ගැන ජම්බුද්වීපයේ නියම තේරුම ගැන සම්පුර්ණ භාෂා විවරණයක් කියවන්න මෙතන ක්ලික් කරන්න” click here

බුදුන් ඉපදුනේ ලංකාවේද?
මීවනපලානේ සිරිධම්මාලන්කාර තමන්ගේ බොරු පිළිගන්නවන්න කරන මාර්කටින් ට්‍රික් එකක් තියෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ ජාත්‍යාලය හා කුතුහලය අවුස්සන එක. මිනිස්සු අල්ලගන්න බුදුන් ඉපදුනේ ලංකාවේ කියල බොරු ඉතිහාස පන්තියක් දානවා. ත්‍රිපිටක දේශනා විකෘති කරනවා වගේම වචන ගලපලා පද ගලපලා අර්ථය විකෘති කරලා ඉතිහාස කරුණු විකෘති කරනවා. ජාතික හැගීමෙන් මත උන මිනිස්සු ඒවා පිළිගන්න තියෙන මෝඩකමට විකෘති ඉතිහාසේ පිලි අරන් විකෘති බන පිලිගන්නවා.

22552817_1975473312723329_961326463341101684_n
IMG_5290
15726238_10155691187523677_97059916030861964_n

වජ්‍රාසනය හිරිවඩුන්නේ?
ධර්මය විකෘති කරන්න පුළුවන් තරම් පද වෙන් කර කර අර්ථ නිරුක්ති දක්වන මීවන වජ්‍රාසනය ගැන කියද්දී ඒ නිරුක්ති නෑ. වජ්‍රාසනය කියල පෙන්නන්නේ කළු ගල් ලැල්ලක්. බුදුරජාණන් වහන්සේ නමක් කළු ගල් ලැල්ලක් උඩ බුද්ධත්වයට පත්වෙනවද? බුදු කෙනෙකුගේ භගවා ගුණයවත් දන්නැති බුදු ගුණවත් දන්නේ නැති කෙනෙක් මීවන කියන්නේ. වජ්රාසනයට  වජ්‍රාසනය  කියන්නේ ඒක වජ්‍ර වලින් හැදුන නිසා. ඒ කියන්නේ දියමන්ති වලින් හැදුන නිසා. හැම බුදුවරයෙක්ම බුදුවෙන්නේ වජ්රාසන්ය මතදී. බෝධිසත්වයන් බුදුවෙන්න ආසන්න උනාම දෙවිවරු විසින් වජ්‍රාසනය පොලව මතුපිටට ගන්නේ. වජ්‍රාසනය ගැන විස්තර සුත්‍ර දේශනා වලම සඳහන් වෙනවා. අපරිමිත පිනක් තියෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු පින් කරපු බුදු වරයෙක් නිකම්ම නිකම් ගල් ලැල්ලක් උඩ බුදුවෙනවද? ලෝකයේ උතුම්ම පදවිය ලබන පුද්ගලයාට ගල් ලැල්ලක් උඩ ඉන්න දීල දෙවිවරු බලන් ඉදිද? අනිත් හැම තැනදීම වචන ගලපන මීවන වජ්‍රාසනය ගැන කියද්දී එකේ වචන ගලපලා තේරුම් කියන්නේ නෑ. මොන තරම් අවස්ථාවාදී ධර්මය විකෘති කරන්නෙක්ද කියල එකෙන් පේනවා.

බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ නොවන බවට පුරාවිද්‍යා හා ඉතිහාස සාක්ෂි සහිත ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න click here)

මිවනගේ ඉතිහාස කතා පිළිගන්න අය බුදුන් ඉපදුනේ ලංකාවේ කියා කියා පොත් වල තියෙන සෙල්ලිපි ටිකක ෆොටෝ දානවා. ඒ අය ඒ පොත මොකක්ද කියල දන්නෙත් නෑ පොත ලියපු කෙනා සාමාන්‍ය පෙළවත් පාස්ද කියල දන්නෙත් නෑ. සෙල්ලිපි ඇත්තටම තියෙන ඒවාද, තියෙන්නේ ඒ කියන තැනේද? ඒවා ලියල තියෙන්නේ මොන අකුරු වලින්ද? ඒවා පරිවර්තනය කරලා තියෙන්නේ හරියටද කියල මෙලෝ දෙයක් දන්නේ නෑ හැබැයි ඇත්ත වගේ පේන සාක්ෂියක් තියෙන නිසා ඔහේ ඒවා පෙන්නනවා. ඒවායේ තියෙන්නේ ලංකාවේ රාජධානි ගැන විස්තරද නැත්තම් වදුරෝ කෙසෙල් කාපු විස්තරද කියලවත් දන්නේ නෑ. ඉතිහාසය දන්න ඉතිහාසය ගවේෂණය කරන අය ඒවා පරිවර්තනය කරලා තියෙන්නේ මොන විදියටද කියල හොයන්නේ නෑ.  තමන් නොදන්නා තැනක තමන් නොදන්නා බ්‍රාහ්මි අක්ෂර වලින් ලියපු දෙයක් කොහෙවත් ඉන්න මිනිහෙක් තමන්ට ඕනි විදියට අර්ථ දක්වල තේරුමක් කිවුවම ඒක ඔහේ පිළිගන්න තරම් විචාර බුද්ධියක් නැති මිනිස්සු තමා මිවනගේ විකෘති ධර්මය පිළිගන්නේ.

මිවනගේ බුදුන් ලංකාවේ ඉපදුන බොරු ඉතිහාසේ පිළිගන්න මිනිස්සුන්ට ඉතිහාසය ගොඩනගන විදිය තේරුම් කලාම කියන්නේ සුද්දෝ ඇවිත් බොරු හදල ගිය ටික තමා දැන් පිළිගන්නේ කියල.  බුදුන් ඉපදුනේ ලංකාවේ, මහාවංශය වැරදියි ,ඉතිහාසය වැරදියි කියන අයට පොඩි උදාහරණයක් කියන්නම්.
ක්‍රි ව 24 භාතිකාභය රජ කාලේ ඇනියෝස් ප්ලකමුස් නම් රෝම නැවියෙක් ලංකාවේ හිටියා.ඒ නැවිය රජුගේ ස්ථුප වන්දනා දැකල ඒ විස්තර රෝමෙට ගියාම ගේයස් ප්ලිනියස් සිකන්ඩ්ස් නම් ලේඛකයාට කිව්වා. ගේයස් ඒවා තමන්ගේ නචුරාලිස් හිස්ටෝරියා කියන පොතේ ලියල තියෙනවා. මේ වගේ රටවල් කිහිපයක සාක්ෂි පදනම් කරගෙන තමා ඉතිහාසය ගොඩනගන්නේ. නව සාක්ෂි මතුවෙන්න මතුවෙන්න ඒවා තව තහවුරු වෙනවා. ධර්මාශෝක රජතුමාගේ සෙල්ලිපි වල මහාවංශයේ විතර වලට සමාන විස්තර තියෙනවා. බුරුමයේ චීනයේ ඉතිහාස ග්‍රන්ථ වල මහාවංශයට ගැලපෙන විස්තර තියෙනවා. මේ වගේ තවත් ගොඩක් විස්තර වෙනත් රටවල ඉතිහාස සාධක වල තියෙනවා. දැනට පිළිගන්න ඉතිහාසය ගොඩනගල තියෙන්නේ මහාවංශය විතරක් බලල නෙවෙයි සෙල්ලිපි, වෙනත් රට වල ඉතිහාස ග්‍රන්ථ හා සෙල්ලිපි , නටඹුන් වල Carbon dating ආදී ප්‍රතිපල ඔක්කොම බලල. මීවනපලානේ සිරිධම්මාලන්කාර ඉතිහාසයට සාක්ෂි දෙන්නේ කිසිම පදනමක් නැති වචන විකෘති කිරීම් වලින් විතරයි. ඉතිහාසය වචන විතරක් බලල නෙවෙයි පෙලගස්සන්නේ හැම සාධකයක්ම හොදට හොයල බලල.

විශ්ව විද්‍යාල හදපු කාලේ ඉදන් අද වෙනකම් විශ්ව විද්‍යාල වල පාලි ගැනත් ඉතිහාසේ ගැනත් පර්යේෂණ research කරනවා. අපේ ඉතිහාසය වෙන රටවල විස්තර එක්ක, අලුතෙන් හොයාගන්න නටඹුන් වල විස්තර එක්ක සසඳලා බලනවා. පාලි හෝ ඉතිහාසේ වැරද්දක් තියෙනවනම් මීවනට කලින් ඒවා ඉතිහාසේ හදාරන අයට හම්බවෙනවා. සුද්දෝ මොනවහරි වරද්දල වහල තියෙනවනම් ඒවා අහුවෙලා ගොඩක් කල්. මොකද විශ්ව විද්‍යාල වල ආචාර්ය වරු හරිම කැමතියි අලුත් මත ඉදිරිපත් කරන්න. එතකොට ඒවා එලි දැක්වීමේ ගෞරවය එයාලට හිමිවෙලා ලෝක ප්‍රසිද්ද වෙනවා. විශේෂයෙන් ඉතිහාසය කරන අය එකට ගොඩක් කැමතියි. මේකට හොඳ උදාහරණයක් තියෙනවා මානව ඉතිහාසේ piltdown hoax කියලා ගුගල් සර්ච් කරලා බලන්න. මානව වර්ග දෙකක් අතර අතරමැදි මානවයා ගැන විස්තර කාටවත් හොයාගන්න බැරුව තියෙද්දී charles dawson කියල විද්‍යාඥයෙක් තමන්ට ඒ අතරමැදි මානව හිස්කබලක් හම්බුනා කියල එකක් ඉදිරිපත් කළා. ඒක පරික්ෂා කලාම ලක්ෂණ ඔක්කොම අතරමදියට තියෙන්න ඕනි විදියට තියෙනවා. කාලෙකට පස්සේ අනිත් අයට සැක හිතිලා මේක carbon dating test කරලා බැලුවම දැනගත්ත මේ හිස්කබල  ඇත්ත එකක් නෙවෙයි මානව වර්ග දෙකේම ඇටකැබලි අරගෙන පුට්ටු කරලා හදපු එකක් කියල. මීවන කරන්නෙත් මේ වගේම වැඩක්. ප්‍රසිද්ද වෙන්න ඕනි කමට ධර්මය විකෘති කරන්න ඕනි කමට බොරු බේගල් ටිකක් ගොතන එකයි මීවනපලානේ කරන්නේ. හරියට පාලි හෝ ධර්මය හෝ ඉතිහාසය අධ්‍යනය කරනවානම් මිවනගේ බොරු පිළිගන්නේ නෑ. අවාසනාවකට මීවන ගාවට යන්නේ කිසිම දෙයක් විචාර බුද්ධියකින් හොයල නොබලන මිනිස්සු.
මිවනගේ ඉතිහාස විකෘතිය ගැන සම්පුර්ණ පැහැදිලි කිරීම් මේ ලින්ක් ක්ලික් කරලා කියවන්න :

1.මීවනපලානේ වරද පිළිගනී
2. බුදුසරණ ලිපිය
3. වර්ගපුර්නිකාව ලිපිය
4.සිළුමිණ ලිපිය 

ත්‍රිපිටක දේශනා අන්තර්ජාලයෙන් කියවීමට
1.ත්‍රිපිටකය 
2.බාගත කරගන්න 
3.ත්‍රිපිටකය

පාලි සිංහල ශබ්දකෝෂ
1.පාලි සිංහල 

ananda

මේ වගේ ධර්ම විකෘතිකයන් අනාගතයේදී බිහිවෙනවා කියල 1997දී බළන්ගොඩ ආනන්ද මෛත්‍රී   හිමියන් හෙලිකිරීමක් කරලා තියෙනවා තමන්ගේ පෙර භවය ගැන කළ සාකච්චාවකදී. බළන්ගොඩ හාමුදුරුවෝ කියන ග්‍රන්ථයේ ඒ සාකච්චාව   සහිත  සම්පුර්ණ විස්තරය තියෙනවා. ධර්මය වේශයෙන් ධර්මය නොවන විකෘති පතුරවන බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

මිනිස්සු විකෘති ධර්ම වලට අහුවෙන්නේ සත්‍ය ධර්මය අසත්‍ය ධර්මය මනින මිම්මක් තමන්ගේ හිතේ නැති නිසා. ධර්මයේ සත්‍ය අසත්‍ය බව මනින මිම්ම ,උපකරණය ඇතිවෙන්නේ ධර්මය අහලා කියවලා සමථ විදර්ශනා සතිපට්ටාන ප්‍රගුණ කරාම ඇතිවෙන ඥාන මගින්. ප්‍රගුණ කරලා නැත්තන් අඩුමගානේ හොදට ධර්මය පරිශීලනය කරලවත් තියෙනවනම් සත්‍ය අසත්‍ය තරමක් දුරකට වෙන් කරගන්න පුළුවන්. ලංකාවේ නමට බෞද්ධයෝ කරන්නේ සත්‍ය ධර්මය ඇහෙනකොට නිදාගෙන ඉදලා අලුත් ලස්සන බොරුවක් ඇහෙනකොට ඒක පස්සේ යනවා. ගිහින් තමන්ගේ පෘතග්ජන මෝඩ සංකල්ප වලට ගැලපෙන විදියට සත්‍ය අසත්‍ය තීරණය කරනවා මිසක් ධර්මයට අනුකුලව සත්‍ය අසත්‍ය වෙන් කරන්නේ නෑ. මොකද එයාලා ගාව සත්‍ය අසත්‍ය ධර්මය වෙන් කරලා හඳුනාගන්න මිම්ම නෑ. ධ්යානයකින් හෝ විදර්ශනා ඥානයකින් හෝ අඩුම තරමේ ධර්ම දැනුමකින් ලබාගත්ත ඥානයක් නෑ.

සත්‍ය දන්නා ඔබ මෙම බොරු පතුරනවා දකින  සෑම අවස්ථාවකම  එයට එරෙහි වන්න. නැතහොත් තව අවුරුදු කීපයක් යන විට ඔබගේ දරුවන්ට ධර්මය හා ඉතිහාසය ලෙස  ඉගෙනගැනීමට වන්නේ විකෘති  රැසකි. විකෘති ඉදිරියේ උපේක්ෂාවෙන් මෛත්‍රීයෙන් නිහඩ වත රැකීමෙන් වන්නේ වික්රුතිකයන්ට රිසිසේ ධර්මය විකෘති කරන්න දී අනාගත පරම්පරා ගණනාවක් අපාගත කිරීමට දායක වීම පමණි.
බොරුවක්   එක වරක් ප්‍රකාශ කල විට එය  බොරුවක් ලෙසම පවතී, එහෙත් එය දහස් වරක් ප්‍රකාශ කළහොත් සත්‍යක් බවට පත් වේ”
-ජෝශප් ගොබෙල්ස්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress