තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ විවෘත ලිපිය ඔවුන්ටය.
Posted on May 15th, 2019

ඉසුරු ප්‍රසංග යුතුකම සංවාද කවය

  • ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මුස්ලිම් අන්තවාදයට නොනවත්වා මතවාදීආරක්ෂාව සැපයීම ත්‍රස්තවාදියෙකු ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටීමට වඩා අතිශයින් විනාශකාරීය.
  • සියල්ල සක්සුදක් සේ හෙළිදරව් වී තිබියදී පවා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට බැරිවූ වැඩ බැරි පාලකයන්ට දැන් බැණ වැදීමෙන් පලක් නැත. වැඩ බැරි දාසලාට රට ගොදුරු කිරීම වෙනුවෙන් ඔබේ නායකයා රටට කී බොරු කන්දරාව මඳකට සිහියට නඟාගන්න.
  • ඔබ පසුගිය දිනවල වැස්ස පින්න නොබලා සම්මත කරගැනීමට වෙහෙසුණු නව ව්‍යවස්ථාවේ විනාශකාරී බව දැන්වත් ඔබට නොවැටහේද? රට කෑලි නමයකට බෙදා, පරිපාලනය දුර්වල කොට, පොලිස් බලතල නැගෙනහිර ජාතිවාදීන් අතට ලබා දී තිබුණේ නම් මේ ත්‍රස්ත තර්ජන හමුවේ රට කුමන ඉරණමකට ගොදුරු වනු ඇත්දැයි ඔබම සිතා බලන්න.
  • ඔබ විසින් කර තබාගෙන ආ විස්ස සම්මත කොට ජනාධිපතිගේ බලතල ජාතිවාදී ඇමතිවරුන් සහිත මේ විගඩම්කාර පාර්ලිමේන්තුවට පවරා දී තිබුණේ නම් මේ වන විට කුමක් සිදුවනු ඇතිද? කිසිදු සෘජු හා දැඩි තීන්දුවක් ගත නොහැකි ආකාරයට රටේ රාජ්‍ය ව්‍යූහය දුර්වල කර අස්ථාවර කර දැමීම කාගේ වුවමනාවක්ද? තව නොබෝ දිනකින් ත්‍රස්තයින් මැඬලීමට හෝ බුර්කා තහනම් කිරීමට ජනපතිට බලතල නැතැයි කියමින් ඔබේ පක්ෂය ඇතුළු රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන ශ්‍රේෂ්ඨාධිකරණයට වුවද යාමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.
  • පසුගිය කාලයේදී ඔබේ පක්ෂය මහා උගතුන් ලෙස කරට ගත් පුද්ගලයන් කවුදැයි දැන්වත් හඳුනාගන්න. මේ මොහොතේ හෝ නිර්මාල්, අමරකීර්ති වැනි ඇදුරන්ගේ පුවත්පත් සංවාද, පේස්බුක් ප්‍රොපයිල මොහොතකට පරීක්ෂා කර බලන්න. ත්‍රස්ත ප්‍රහාරවලට වඩා හාමුදුරු කෙනෙකුගේ වචන වැරදීම ප්‍රශ්නයක් වී ඇති මේ ඔල්මාදකාරයන්ගේ හිස් ඔළු තුළ ඇත්තේ උතුරා හැලෙන බෞද්ධ විරෝධය හා සමාජ වෛරය පමණක් බව ඔබටම වටහාගත හැකිවනු ඇත. තමන්ගේ ආත්මීය ප්‍රශ්නයක් වන සිංහල විරෝධය වෙනුවෙන් ලෝකයේ ඇති ඕනෑම ජාතිවාදයක් සුරැකීමට ඔබේ මහා උගතුන් සූදානම්ය. නොබෝ දිනකින් මේ උගතුන්ගේ නිවෙස්වල තිබී බෝම්බ, කඩු කිනිසි පොලීසියට හසුවුවහොත් ඒ ගැනද පුදුම නොවන්න.
  • පසුගිය කාලයේදී හමුදාවට අටපාස් කොල්ලන් යැයි ගරහමින්, කොටි සැමරීමට කොළඹ ඉටිපන්දම් පත්තු කළ අලුත් පරපුරු පෙන්දන් ඔබේ පක්ෂයේ මැතිවරණ ආධාරකරුවන් වූ බව මොහොතකටවත් අමතක නොකරන්න. මෙවැනි හිඟන්නන් ඔබේ මැතිවරණ වේදිකාවට නංවා ගැනීමෙන් ඔබට අත්වන විශිෂ්ට ජයග්‍රහණ ගැන අප කල් තියා අනාවැකි කීවෙමු. ඒ සියල්ල නැවත නැවතත් නිවැරදි වූයේ කෙසේදැයි මඳකට සිතා බලන්න.
  • සිරියාවේ, ලිබියාවේ සිදුවූ අරාබි වසන්ත එදා ඔබේ පක්ෂයට පෙනුනේ කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම් ලෙසය. ඔබේ පක්ෂයේද සාදර දායකත්වයෙන් දියත් වූ ලංකාවේ ජනවාරි අට විප්ලවය ඔබට පෙනුනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙසය. මේ සෑම වසන්තයකටම පසු ඇමරිකාවත් අයිඑස් ත්‍රස්තවාදයත් ඒ රටවල් ගිලගත් ආකාරය ඔබට මතකද? මේ ඔබේ පක්ෂයේ පට්ට දේශපාලන විග්‍රහයන්ගේ නිවැරදිභාවය ගැන එක් උදාහරණයක් පමණි. තනියම කල්පනා කරන්න.
  • ඡායාරූපයක් පෙන්වමින් මුස්ලිම් ත්‍රස්තවාදය ගෝඨාභයට සම්බන්ධ කරන්නට යාමට වඩා ඔබේ පක්ෂය පසුගිය කාලය පුරා සිදුකළ දේශපාලනයේ විනාශකාරී බව ගැන මඳකට කල්පනා කර බලන්න. ගෝඨාභය යනු මේ රටේ ජාතිවාදය හා ත්‍රස්තවාදය ප්‍රායෝගිකව පරාජය කළ නායකයෙකි. ගෝඨාභය යුද්ධ කරන විට ඔබේ පක්ෂය කළේ ඊට එරෙහිව ගල් පැලෙන බොරු වරුසා වපුරුවමින් ආණ්ඩු පෙරළන්නට තැත් කිරීමය. ඒ දීන ඉතිහාසය අමතක නම් යුද්ධය අවසාන කාලයේ පළවූ නියමුවා පත්තර, ගිනිසිළුව පත්තර, ලංකා පත්තර නැවත පෙරළා බලන්න.
  • මේ සියල්ල මේසා පැහැදිලිව කීමෙන් පසුත් ඇත්ත පිළිගැනීමට ඔබේ මමංකාරය ඔබට ඉඩ නොදේ නම් එය අපේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්‍රශ්නයකි. දේව කන්‍යාවියන් වෙනුවෙන් ජීවිතය බිලිදෙන ත්‍රස්තවාදියෙකු සහ ජෙප්පෙකුගේ මතවාදී තන්හාව අතර වැඩි වෙනසක් තිබේදැයි ඔබම කල්පනා කර බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress