ජනතාව චෝදනා එල්ල කරන රිෂාඞ් බදියුදීන්ව ආන්ඩුව ආරක්ෂා කරනවා.ලංකා ඉතිහාසයේ පළමුවතාවට විශ්වාසබංග යෝජනාවක් තේරීම් කාරක සභාවකට යොමුකළ අවස්ථාව මෙයයි.
Posted on May 24th, 2019

අද දින (24) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා

ජවිපේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව දියාරු කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම රජය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටිනවා. මේ යොජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් රජය තුළ බරපතල බෙදිමක් තිබෙනවා. පසුගිය 21 වැනිදා ප්‍රහාරයත් එක්කම රිෂාඞ් බදියුදීන් ඇතුලු කිහිපදෙනෙක්ට ජනතාව චෝදනා කරමින් තිබෙනවා. නමුත් අපිට පේන්නේ ආණ්ඩුව රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාව ආරක්ෂා කරන බවයි. මේ ප්‍රහාරයෙන් සිද්ධවුනු ඝාතන සංඛ්‍යාව සම්බන්ධයෙනුත් තවම එකගතාවයක් නැහැ.එකපාරක් 350ක් කියනවා. ඊට අඩුයි කියනවා. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන්න අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ ඉදන් ආන්ඩුව ඉගි පලකලේ විශ්වාසභංග යෝජනාව ගේනන ඉඩ නොදෙන බවටයි. මිට පෙර විශ්වාසභංග යෝජනා ගෙනත් තියනවා. නමුත් ඒ කිසිම අවස්ථාවක විශ්වාසභංග යෝජනාව විවාදය කරන්නේ නැතිව තේරීම් කාරක සභාවක්පත් කරලා එහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්කලේ නැහැ. තේරීම් කමිටුවක් පත්කරන්න ඉල්ලිමක් ඉදිරිපත්කරලා තියෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නයි.
රජය ආරක්ෂා කරන්න,  රජයට රැකවරණය දෙන්න, රජය පවත්වා ගෙන යන්න රිෂාඞ් බදියුදින් ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ සහාය අවශ්‍යයි.  බැදුම්කර හොරකමේ මහා මොලකරු වුනු අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරනවාටත් වඩා පියවරක් ඉදිරියට ගිහින් ත්‍රස්ත ප්‍රහාරයට සමාජයෙන් චෝදනා එල්ලවන රිෂාඞ් බදියුදීන් ආරක්ෂා කරමින් සිටිනවා. පහුගිය වසර කිහිපයම බැදුම්කර වංචාව වහගන්න උත්සාහ කරමින් සිටිය ආණඩුව දැන් මොහොතකට  එය අමතක කරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය ආරක්ෂා කරමින් සිටිනවා. මහ බැංකු හොරු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා වගේම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ අයත් නිදහසේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරමින් සිටිනවා.
කතානායකවරයා මොන ස්ථාවර නියෝග යටතේද විශ්වාසභංග යෝජනාවක් තේරීම් කාරක සභාවට යොමුකලේ කියලා අපි ප්‍රශ්න කරනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරපු තේරිම් කාරකසභාවකට වඩා මේක රිෂාඞ් බදියුදීන්ට සුදුහුණු ගාන්න පත්කරපු එකක්. මේ වෙද්දි රජයේ පැත්තෙන් අට දෙනෙක් නම් කරලා. සුමන්දිරම් ඇතුලු මේ අට දෙනාගේ සංයුතිය බැලුවාම කාවින්ද ජයවර්ධන හා සරත් ෆොන්සේකා ඇරෙන්න ආනෙක් සියලු දෙනාම මුනිවත  රැක්කා. ඒ කියන්නේ මොවුන් පුර්ව නිගමනයකට ආවා රිෂාඞ් බදියුදින් මෙයට සමබන්ධ නැති බවට. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කතෝලික ජනතාව නියෝජනය කරමින් මේ අසාධාරණ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙනී හිටියිද නැත්නම් ඔහුට තියෙන කතෝලික ඡන්ද ප්‍රමාණය ගැන හිතලා මේ කමිටුවට පත්කළාද කියන්න බැහැ.
රජය එක්ක අවුරුදු හතරහමාරක් හිටපු ජවිපේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමකට විශ්වාසභංග යෝජනාවක් ගෙනත් දිනන්න බැරි බව ඕනම පුංචි ළමයෙකුට තේරෙනවා. ඒ නිසා ජවිපෙට සදාචාරාත්මක යුතුකමක් තිබුණා විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය කියලා මේ විශ්වාසභංග යෝජනාව ගේන්න. ඔවුන් විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව දියාරු කරන්නයි. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි පහුගිය කාලය පුරාම මේ ආන්ඩුවේ වැරදි වලට එරෙහි වුනා. ජවිපේ තවම අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. මේ විශ්වාසභංග යෝනාවේ අන්තර්ගතය බලලා ඊට පස්සේ පක්ෂ නායක තීන්දුවකට අනුව අපි ඡන්දය භාවිතා කරන හැටි ගැන තිරණය කරනවා. මේ වෙනකල් ජන පිඩක ආන්ඩුවට එරෙහි වෙමින් අපි ජනතාව වෙනුවෙන් පෙනි සිටියා.
අපි ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාවේ පලවෙනි චෝදනාව රිෂාඞ් බදියුදින් ඇමැතිවරයා හමුදාපතිවරයාට කතාකර සැකකරුවන් සම්බන්දයෙන් විමසීමයි. අද අයිලන්ඞ් පුවත් පතේ තියෙනවා අදාල පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසියක් පොලීසියක් ගානේ ගිහින් හොයලත්, තොරතුරක් හොයා ගන්න බැරි වුන නිසා රුවන් විජේවර්ධන ඇමැතිවරයාට කතාකලා. ඒ වෙලාවේ ඔහු රිෂාඞ් බදියුදින්ට උපදෙස් දුන්නාලු හමුදාපතිවරයාට කතා කරලා ඒ සම්බන්ධයෙන් විමසන්න. ඇමැතිවරයෙක්ගේ රාජකාරිය වෙන්නේ කිසියම් පැමිණීල්ලක් තියෙන අවස්ථාවක අත් අඩංගුවට ගත්ත අය සම්බනක්ධයෙන් සෙවිමද, හමුදාපතිවරයාට කතා කිරීමද, එහෙමත් නැත්නම් ඔහු කළ යුතුව තිබ්බේ පොලිස්පතිවරයාගෙන් විමසිමද? පොලිස් අත් අඩංගුවට ගත්ත කෙනෙක් ගැන පොලිස්පතිවරයාගෙන් නොවිමසා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ උපදෙස් අනුව හමුදාපතිවරයාගෙන් විමසීම ගැන අපි පුදුම වෙනවා. රටේ ආරක්ෂක ඇමැතිවරයා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවගේ චෝදනාවට ලක්ව සිටින ඇමැතිවරයෙක්ට හමුදාපතිවරයාට කතා කරලා විමසීමක් කරන්නයි කියන එකත් ඉතාම සැකසහිතයි. මෙවැනි විමසීමක් කරන්න කිව්වාද, එහෙම විමසීමක් කරන්න කිවවේ ඇයි කියන එක ගැන රුවන් විජේවර්ධන ඇමැතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා වශයෙනුත් හිටපු වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා විදියටත් රට හමුවේ ප්‍රකාශයක් කළ යුතුයි.
මාධ්‍යවේදීන්ට දැඩි දඩුවම් දීමේ පනතක් පිළිබද සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ. එම නිතිය ක්‍රියාත්මක කරනවාට දැඩි විරෝදය පානවා කියලා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා. මෙතෙක් කල් රජය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා දිලින් දිගටම මාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතන දඩයම් කළා. මාධ්‍ය ජනතාවට සත්‍ය තොරතුරු ලබා දිම අද ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙලා. ජනතාව පිළීනොගන්නා ආන්ඩුවක් විසින් කරන දේ මාධ්‍ය මගින් හෙලිවීම තමයි අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ නිසා කරුනාකරලා මාධ්‍ය අවදියෙන් ඉන්න. මෙතෙක් මාධ්‍යට තර්ජනය කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරපු ආන්ඩුව නිති රිති සම්පාදනය කරලා මාධ්‍ය දඩමට සුදානම් වෙනවා. අපි  ඒකාබද්ධ විපක්ෂය විදියට මාධ්‍ය මර්ධනයට විරුද්ධව පෙනී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන්න ඇවිත් නීතිරීති පනවලා තමන්ට ඇවැසි දේ පමණක් ප්‍රචාරය කරවන්න දරන මේ උත්සාහය ගැන අපි කණගාටු වෙනවා.

බය නැති අගමැති රිෂාඞ් බදියුදීන්ට ගෙනාපු විශ්වාසභංගයට බය වෙලා.
■ නවින් දිසානායක ඇමැතිවරයා රිෂාඞ් බදියුදීන්ගේ සංවේදි කදුලු දැක්කට, බෝම්බ ප්‍රහාරවලින් වේදනාවට ලක්වුනු දරුවන්ගේ කදුලු දැක්කේ නැහැ
■ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ කලා කටුයුතු ඇණ හිටීම නිසා කලාකරුවොත් අසරණයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා
බය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියමින් උඩබුරපු සභානායක ඇතුලු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ. බය නැත්නම් විශ්වාසභංග යෝජනාව පසුවට නොතියා එලැඹෙන මාසයේ මුල්සතියේ පාර්ලිමේන්තු සැසියේම මේ විවාදය ගන්න. මේ පත්කරලා තියෙන තේරීම් කාරක සභාව පත්කරලා තියෙන්නේ රිෂාඞ් බදියුද්න්ගේ පිරිසිදුභාවය ඔප්පු කරන්න. එජාපය බලයට පැමිණිදා ඉදලාම විවිධ කමිටු පත්කරපු නිසා අපිට මේ කමිටු පිළිබදවත් හොද අවබෝධයක් තියෙනවා.
බැදුම්කර වංචාවටත් කමිටුවක් දැම්මා. සාලාව ආයුධ ගබඩාව ගිනි ගත්තාමත් කමිටුවක් පත්කළා. කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා රංජන් රාමනායක කියපු කතාවටත් කමිටුවක් දැම්මා. මේ කමිටුවලට මොනවා වුනාද දන්නේ නැහැ. රිෂාඞ් බදියුදීන්ට සුදු හුණු ගාන්න ගෙනාපු මේ කමිටුවෙන් සිද්ධ වෙන්නෙත් රිෂාඞ්ට සුදුහුණූ ගාලා සෝදලා පිරිසිදු කරලා නැවත දේශපාලනය කරන්නත්, මෙවැනි චෝදනා සහිත ක්‍රියාකාරකම්වලට නැවත ජිවයක් ලබා දිමයි වෙන්නේ. පාස්කු ඉරිදා සිද්ධියෙන් ජිවතක්ෂයට පත්වුනු ජනතාවටත්, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ඉන්න අයටත් අසාධාරණයක් වෙන්නේ.
හෙක්ටර් අප්පුහාමි කතෝලික මන්ත්‍රීවරයා මේ විශ්වාසභංගය නාටකයක් කිව්වා. මේ රටේ ජනතාව දන්නවා පාර්ලිමේන්තුවේ නීති රිතී කඩමින් කරන නාටක මොනවාද කියලා. කතෝලික ජනතාවගේ ජිවිත අහිමි වෙලා තියෙද්දි, ඒ ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙවැනි ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කඬේ යාම ගැන ලැජ්ජයි. තමන්ට ඡන්දය දුන්න ජනතාව සහ කතෝලික ජනතාව නෙවෙයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ.
නවින් දිසානායක ඇමැතිවරයා නිවැරදිභාවය ඔප්පු කරන්න සෑහෙන උත්සාහයක යෙදිලා ඉන්නවා. එතුමාගේ ප්‍රකාශය මාධ්‍යයෙන් නිවැරදිව ප්‍රචාරණය වුනා. එතුමා රිෂාඞ් බදියුදින්ගේ සංවේදි කදුලු ටිකයි දැකලා තියෙන්නේ. මඩකලපුවේ, කොළඹ මහ රෝහලේ වේදනාවෙන් ඉන්න අහිංසක පුංචි දරුවන්ගේ වේදනාව ඔහුට දැනිලා නැහැ. මේ වෙද්දි රටේ ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. මේ සිද්ධීයෙන් පස්සේ රටේ කලාකරුවෝ ඉන්නේ අසරණ වෙලා. ප්‍රසංග වේදිකාව ගත්තාම සංගීත ශිල්පීන්ට රැකියාව අහිමි වෙලා. සිනමාව, වේදිකාව ගත්තත් ඒ විදියමයි. මේ කලාකරුවන් අසරණ වෙලා ඉන්න නිසා ඔවුන් වෙනුවෙන් සහනදායි වැඩපිළීවෙලක් අවශ්‍යයි. ඔවුන් යම් ණය මුදලක් ලබා ගෙන තිබෙනවා නම් ඒ සදහා කිසියම් වැඩපිළිවෙලක් ඉක්මනින් අරඹන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. උසනම් සිකුරිටි මිටිනම් කම්කරු කියලා කලාකරුවන් ගැනනම් තීන්දු ගන්න එපා. හෘද සාක්ෂියක් තියෙන සියලුම මන්ත්‍රීවරුන් මේ විශ්වාසභංගයේදි ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බව විශ්වාසයි.


රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ.
■ ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය කතානායකවරයාට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ. ඒ වුනාට අපේ ආන්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ විනාඩි කිහිපයකින් ඒ සම්බන්ධයෙන් තීරණ අරන් හඩ අනුව තීන්දු දුන්නා. නමුත් අද විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ කියන්නේ මට තින්දුවක් ගන්න ක්‍රමයක් නැහැ. පක්ෂ නායකයින් එකතු වෙලා තින්දුවක් ගන්න. සභානායක තින්දුවක් ගන්න.” වගේ දේවල් කියනවා. එදා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා න්‍යාය පුස්තකයේ විශ්වාසභංගයක් නැහැ කියද්දිත්, මිනි මැරෙයි කියන වෙලාවේ කතානායකතුමා කිව්වේ මිනියක් නෙවෙයි.මිනි දහයක් මැරුනත් මම මේ විශ්වාසභංගය ගන්නවා ” කිව්වා. මේ දෙබිඩි පිළීවෙතින් අද පැහැදිලිවම පේනවා කතානායකවරයා හැසිරෙන්නේ එජාපයේ අවශ්‍යතාවය අනුව බව. ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය ඔහුට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ. එජාපය කාලෙන් කාලයට ජනාධිපතිවරණ අපේක්ෂකවරු ඉදිරිපත්කරනවා. හරියට ගණිකාවකගේ පතිවත වගේ තමයි. එක් වරෙක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වනවා. කරූ ජයසූරිය කියනවා.කුමාර සංගක්කාර කියනවා. දැන් අලුත්ම කෙනා ධම්මික පෙරේරා.
එදා ඥාණසාර හිමියන්ව නිදහස් කරන්න කියලා අපේ මහානායක හිමිවරු, කාදිනල්තුමා කිව්වා. නිදහස් කිරීමට නොහැකියාව ගැන හේතු කාරණා දැක්විමක්වත් කලේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ. බසුනාහර පළාතේ අනුනායක අසාත ්සාලි, නැගෙනහිර පළාතේ අනුනායක හිස්බුල්ලා කියන ප්‍රකාශ තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ආන්ඩුව පිළිගන්නේ කවුරු කියන දේද කියලා දැන් පැහැදිලියි.
දැන් තේරිම්කාරක සබාවක් දාලා රිෂාඞ් බදියුදින්ට සුදුහුණු ගාන්න සූදානම් වෙනවා. වැරදිකරුවන්ට දඩුවම් දනේන කියලා මහානායක හිමිවරු වගේම කාදිනල්තුමාත් ඉල්ලා සිටිනවා. එජාපයේ මන්ත්‍රීවරු රැසක් මේ වෙද්දි ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසිලා ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ගේ හඩ යටපත් කරලා රිෂාඞ්ව රකින්නයි පියවර ගනිමින් සිටින්නේ.
මොංගල් මංගලත් රටේ ප්‍රශ්න වැඩිකරන්න අත්සාහ කරනවා. මාධය මර්ධනය කරමින් ත්‍රස්තවාදි ප්‍රශ්නය වෙනතකට යොමු කරන්නයි මොවුන් උත්සාහ කරන්නේ.ත්‍රස්තවාදීන්ට දඩුවම් කිරීම වෙනුවට සිංහල මුස්ලිම් ගැටමකට මුල පුරලා ලොකු ගැටුමක් රටේ හදන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මිනුවව්ගොඩ වැනි ප්‍රදේශවල අර්බුද හදද්දි අපේ සංඝරත්නය මංගලගේ මොංගල් කියමන් වලට යට වුනේ නැහැ. දඩුවම් කරන්න ඕනේ සැබෑ මුස්ලිම් ජනතාවට නෙවෙයි.ත්‍රස්තවාදය පෝෂණය කරපු අන්තවාදින්ටයි කියන තැනයි අපි ඉන්නේ. කබීඒ හසීම් වැනි අයට අපි විශ්වාසභංග ගෙනත් නැහැ. වහාබ්වාදය පතුරන රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විතරයි අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress