මිනුවන්ගොඩ ප්‍රහාරයේ ඇත්ත මෙන්න..
Posted on May 27th, 2019

– අරවින්ද අතුකෝරල

හදිසි නීතිය දීර්ඝ කීරීම විවාදයට එක්වෙමින් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.

මධු මාධව ට චෝදනා එල්ල වූ මිනුවන්ගොඩ ප්‍රහාරයේ ඇත්ත මෙන්න

උදව්වට දුන්න විපක්ෂයේ අත සපාකෑම

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ විපක්ෂයේ අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුණු වගකිවයුතු විපක්ෂයක් විදියට ආදර්ශමත් විපක්ෂයක් විදියට කටයුතු කළා. බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ ආණ්ඩුවේ නායකයින් ඒ ස්ථානවලට යන්නත් කලින් අපේ විපක්ෂ නායකතුමා එතෙන්ට ගිහිල්ලා ජනතාවගේ දුක සැප බෙදා ගත්තා. ඔවුන්ගේ ආවේගයන් පාලනය කරගන්නට ඔවුන්ට නායකත්වය ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. අතීතයේ වගේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරන්න පෙළඹෙන්නේ නැතුව අපි එතෙන්ට ගිහිල්ලා සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සමගිය ගොඩ නඟන්න ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ආණ්ඩුව හමුවේ යෝජනාවලියක් විදිහට තැබුවා.

එතනින් අපි නතර වුණේ නෑ. කොටි ත්‍රස්තවාදය පරාජය කරවීමට නායකත්වය දීලා අද විශ්‍රාමික සුවයෙන් ඉන්න ත්‍රිවිධ හමුදා නායකයින් පොලිසියේ ප්‍රධානීන් බුද්ධි අංශ නායකයින් කැඳවලා මේ අර්බුදය පැහැදිලි කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන් ගෙනෙන යෝජනා පිළිබඳ වාර්තාවක් සකස් කරලා විපක්ෂ නායකතුමා ගිහිල්ලා ජනාධිපතිතුමන්ට භාර දුන්නා. පැසල් වලට දරුවන් නොපැමිනීමේ ගැටළුවක් ඇති වුණා. අගමැතිතුමත් ඉල්ලුවා, අපේ අධ්‍යාපන ඇමතිතුමා ඉල්ලුවා, ආරක්ෂක ප්‍රධානීන් කිව්වා ආරක්ෂාව තහවුරු කරල තියෙන්නෙ එන්න කියලා. දරුවෝ ආවෙ නෑ. මේ නායකයින්ගේ ඉල්ලීම විශ්වාස කළේ නෑ. ඒ නිසා විපක්ෂ නායකතුමා ඇතුළු අපේ අයට සිදුවුණා පාසල් වලට දරුවන්ව අරන් ගිහිල්ලා මේ ආරක්ෂාව සුරක්ෂිතයි කියන කාරණය සමාජයට ලබා දෙන්න.

අපි ඒ වගේම මේ අර්බුදය ඇති වුණු දවසේ ඉඳන්ම මේක උගුලක් මේකට අහු වෙන්න එපා, ප්‍රචණ්ඩ වෙන්න එප, සාමකාමී වෙන්න කියලා දිගින් දිගටම ලිඛිතව සහ වාචිකව ඉල්ලීමක් කලා. අපි නම් කිවුවෙ නෑ තොප්පිගල කියන්නේ නිකම්ම නිකන් කැලෑවක් කියලා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා අපි කිව්වේ නෑ. ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා කිව්වේ නෑ. අපි ඊට වඩා වගකිව යුතු විපක්ෂයක් විදියට වැඩ කරනකොට ආණ්ඩුව මොකද කළේ. ආණ්ඩුව ජනපති පිල සහ අගමැති පිල කියල දෙකට බෙදිලා මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම කියන එක පාපන්දුවක් කරගෙන මේ බෝලේ එහෙටයි මෙහෙටයි පාස් කරන්න ගත්තා. මේකට   ජනාධිපතිතුමාගේ වගකීම ගැන කියලා ඇමතිවරු පත්‍රිකා පන්සල් වලට යවන්න ගත්තා. ඒ වගේම රිෂාද් බදුර්දීන්  ඇමතිවරයාට නිශ්චිත චෝදනා එල්ල වෙද්දී ඒ විශ්වාසභංගය විවාදයට අරගෙන මේ සමාජයේ තියෙන කේන්තිය අසහනය පිට කර ගන්න දෙන්නෙ නැතිව රිෂාද් බදුර්දීන් කියන අන්තවාදියා රැක ගැනීමේ පිළිවෙත මාරු වුනා. ඒ සියල්ල ඉවසන්න පුළුවන්. උදව්වට දුන්න විපක්ෂයේ අත සපාකෑම තමයි ඉවසන්න බැරි.

මහ මොලකරු මධු මාධවද? මෙන්න ඇත්ත

ආණ්ඩුවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයට අනුව මිනුවන්ගොඩ සිදුවීමෙ පිටුපස සිටින මහ මොලකරු මගේ පක්ෂයේ පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද. මොකක්ද දිවුලපිටියේ සිදුවීම සම්බන්ධයෙන් මධු මාධවගේ සම්බන්ධය. එදා මැයි මාසේ 13 වැනිදා 12.38ට දිවුලපිටියේ තමන්ගේ ආධාරකරුවෙකුට මධුමාධව දුරකථන ඇමතුමක් දීලා දෙදෙනා හම්බවෙන්න කතා කරනවා. ඒ මිත්‍රයා රාත්‍රි හතට මධු මාධවට එන්න කියලා දැනුම් දෙනවා. මේ දුරකථන ඇමතුම යාලුවගෙ ජංගම දුරකථනයෙන් පටිගත වෙනවා. ඒ වගේම දෙදෙනාගේ ම විස්තරාත්මක දුරකථන බිල්පත් වල මේ දුරකථන ඇමතුම සටහන් වෙලා තියෙනවා. ඒ අනුව සවස 6.30 ට මධු මාධව නිවසෙන් පිටත් වෙනවා. තමන්ගේ අලුතෙන් ඉදිකරන නිවස බලන්න ගිහිල්ලා ඔහු 7.15ත්  7.30 අතර මිනුවන්ගොඩ නගරයට කිට්ටු වෙද්දි නගරයට එපිටින් තියෙන මිනුවන්ගොඩ පාලමේ සිට ඉදිරියට දැඩි වාහන තදබදයක්. තමන්ට ඉස්සරහට යන්න බෑ. තමන්ට හරවා ගෙන යන්න වෙනව ද, තමන්ට ඉස්සරහට යන්න පුළුවන් ද, මොකද මේ තදබදය කියල බලන්න වාහනය සංක සුපර් මාකට්  ගාව නතර කරල පා ගමනින් ඉදිරියට යනවා.

ඔන්න පාර හරහා මාර්ග බාධකයක්. මෙතන ඉන්නවා පොලිසියෙන් සහ යුද හමුදාවෙන්. එතැන සිටි පොලිස් නිලධාරියා කියනවා මෙතනින් එහාට සිංහල මුස්ලිම් කලබලයක් තියෙනවා මෙතනින් එහාට යන්න එපා කියලා. එවිට මධු කියනවා මම යන්නේ දිවුලපිටියට.” , ලැබෙන පිළිතුර  හරි සර් ඔතනින් වමට හැරෙව්වම දිවුලපිටියට යන්න පුළුවන්.” ඒ අනුව ආපහු පයින් යනවා මිනුවන්ගොඩ පාලම උඩින් ගිහිල්ලා වාහනයට නැගලා තමන්ගේ හම්බවෙන්න යන මිත්‍රයාගේ තැනට ඔහු ගමන් කරනවා. මෙම මිත්‍රයාගේ ව්‍යාපාරික ස්ථානයේ සීසීටීවී කැමරාවල 8.15ට මධුමාධව ඇතුළු වුණු බවත් 8.43ට ඔහු පිටත් වුණු බවත් සටහන් වෙනවා. ඔහුට තමන්ගේ නිවසේ සිට දිවුලපිටියට යෑමට තිබෙන මාර්ගය වැටී ඇත්තේ මිනුවන්ගොඩ නගරය හරහා බව පෙන්වීමට ගූගල් සිතියමක් මම සභාගත කරනවා. ඒ වගේම සීසීටීවී කැමරා වලින් ලබා ගත්ත ඇතුලට පැමිණීමේ සහ පිටවීමේ අවස්ථාවන් දැක්වෙන ඡායාරූපයන් මා මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.

ඔහු එතනින් පිටත් වෙලා නැවත  9.30 වන විට රාගම ඇලපිටිවල පිහිටි තමන්ගේ නිවසට පැමිණෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි මේ අතරේ පොලිස් නිලධාරියා සමග කතා කරලා පාලම උඩින් තමන්ගේ වාහනය කරා ගමන් කරන වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවිවල පතුරමින් මිනුවන්ගොඩ සිද්ධියේ මහා මොළකරු මධුමාධව අරවින්ද කියලා  ප්‍රහාරයක් යනවා. ඊළඟට මධුමාධව මේ සිද්ධියට සම්බන්ධයි කියලා පොලිසියෙන් මාධ්‍ය වලට තොරතුරු ලබා දෙනවා. මං ඒ අනුව ගම්පහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට කතා කරලා අහනවා මොකක්ද මේ සිදුවීම. සර් මේකට අත දාන්න එපා මධුමාධව බෙල්ල මුලට       අහුවෙලා ඉවරයි අපි Communication Tower Report (සන්නිවේදන කුළුණු වාර්තාවක්) එකක් ගත්තා ඒ වාර්තාව අනුව පැය තුනක් මධුමාධව එම ප්‍රදේශයේ සැරිසරා තිබෙන බව අපි තහවුරු කරගෙන තියෙන්නේ කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා.

ඒ අනුව  මධු මාධවට මම මේ පිළිබඳව දෝෂාරෝපණය කරද්දී ඔහු කියනවා නෑ මම කියන්නෙ ඇත්තයි. ඔහුත් ගන්නවා තමන්ගෙ දුරකථනයේ සන්නිවේදන කුළුණු වාර්තාවක්. ඒ වාර්තාව අනුව හවස 6.28 ටත් ඇලපිටිවල තමන්ගේ නිවසට සම්බන්ධ කුළුණෙන් තමයි දුරකතන ඇමතුම් ගන්නේ. 6.30 ට ගෙදරින් ගියා කියන කතාව ඇත්ත. මිනුවන්ගොඩ නගරයේ සන්නිවේදන කුළුණට මුලින්ම දුරකථන ඇමතුම යන්නේ 7.25 ට. මිනුවන්ගොඩ සන්නිවේදන කුළුණෙන් අවසාන දුරකථන ඇමතුම 7.42 ට දැන් හිතන්න පුළුවන් දුරකථනයෙන් කතා කරන්නැතුව මිනුවන්ගොඩ ඉන්න පුලුවන්නේ කියලා. මිනුවන්ගොඩ නගරයට පැමිණීමට පෙර ගල් ඔලුව කුළුණෙන් දුරකථන ඇමතුමක් ගන්නවා 7.18ට. මිනුවන්ගොඩ නගරය පහු කරල ගිහිල්ල දිවුලපිටිය කුළුණෙන් පළවෙනි දුරකථන ඇමතුම ගන්නේ රාත්‍රියේ 08.01ට ඒ අනුව මිනුවන්ගොඩ කුළුණට ඔහු සම්බන්ධ වී සිට ඇත්තේ විනාඩි 17ක් පමණි. එහෙම නම් ඒ 17 ඇතුළෙ මිනුවන්ගොඩ පැමිණෙන වෙලාව පිටත්ව යන වෙලාවත් අඩංගු වෙයි. එහෙම නම් මිනුවන්ගොඩ නගරයේ තමන් රැදී සිටියේ විනාඩි දහයකටත් වඩා අඩු කාලයක් යැයි මධු මාධව කියන කතාව සම්පුර්ණ ඇත්ත.

මධු මාධව කියන්න ඇත්ත දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කියන්නේ බොරු කියලා එවිට පැහැදිළියි. පසුව මට තව අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් තොරතුරු එනවා ඔවුන්ටත් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා පවසා තියෙනවා මධුමාධව පැය තුනත් සැරිසැරූ බවට කුළුණු වාර්තාවක් තියෙනවා කියලා.  මෙච්චර පට්ටපල් බොරුවක් කියන්න හේතුව මොකක්ද ? ඒ නිසා  අපි හොයලා බැලුවා දේශබන්දු තෙන්නකෝන් කියන්නේ කවුද කියලා. තමන්ගෙ විශ්වවිද්‍යාල සමයේ සිරිකොත නතර වෙලා විශ්ව විද්‍යාල ගිය කෙනෙක් තමයි දේශබන්දු තෙන්නකෝන් කියන්නේ. සමවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරි නායකයෙක්. සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ බැඳුණු කෙනෙක් ඔහු.

ඔහු ගැන තවත් විස්තර හොයාගෙන තියෙනවා. මම මේ අවස්ථාවේ ඔහුව මාතෘකාව කර ගන්නේ නැහැ. මම ඔහුට දැනුම් දෙන එකම දේ නම් තමන්ගේ කාකි නිල ඇඳුමට යටින් කොල පාට ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න එපා. විශ්වවිද්‍යාලයෙදි ඔබට ඕනෑම පක්ෂයකට බැදිලා දේශපාලනය කරන්න පුළුවන්. ඡන්දය පාවිච්චි කරද්දී තමන් කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න පුළුවන්. පොලිසියේ රාජකාරිය කරද්දි තමන්ගේ පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා අලියා ලාංඡනය පළඳින්නේ නැතුව නියෝජ්‍ය පොලිස්පති තනතුරට ලැබුණු ලාංඡන විතරක් පැළඳගෙන රාජකාරිය කරන්න කියලා අපේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයට අනතුරු ඇඟවීමක් කරනවා.

විපක්ෂයේ දේශපාලනඥයින් මේකට එකතු කරන්න යන්නේ ඇයි? මේ ගැටුම ආරම්භ වන අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මිනුවන්ගොඩ නගරයේ ඉන්නවා. නගරයේ අය ඉතාමත් පැහැදිලිව කියනවා මෝටර් සයිකල්වලින් පැමිණි ලේන්සු වලින් මුහුණ බැඳගෙන හෙල්මට් පැලඳ සිටි පිරිසක් තමයි ඇවිල්ලා කඩ කැඩුවෙ කියලා. ඒ අය අපි අඳුරන්නේ නෑ. ඒ අය අත්අඩංගුවට ගන්න පොලීසිය කටයුතු කරන්නේ නෑ කියලා. පොලිසිය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔවුන් නික්ම ගියාට පස්සේ ගමේ දායක සභාවෙ රැස් වෙලා සිටිය අහිංසක පිරිස, එතන චෛත්‍යය හදන්න ආපු මේසන් බාස්, පන්සලේ ඇබිත්තයා. පිට ගමකින් ඇවිල්ලා කොළඹ නගරයේ වැඩකට යන්න පන්සලේ නැවතුන හාමුදුරුවන්ගේ සහෝදරයා, මෙන්න මේ අය අත්අඩංගුවට ගන්නවා.  ඒ හින්ද මම සදහන් කරන්නෙ මේ සිදුවීම සම්බන්ධයෙන් සැබෑ අපරාධකරුවන්ට දඬුවම් කරන්න.

දිගන සිදුවීම සිදු වෙලා මාස පහළොවයි. අද වෙනතුරු කිසිවෙකුට දඬුවම් කරනවා තබා නඩුවක් වත් දාලා නෑ. නඩු දාලා නෑ නෙවෙයි නඩු දාන්න බෑ. ඇයි අපරාධකරුවන්ට අර වගේම මුහුණු බැඳගෙන හෙල්මට් දාගෙන ඇවිල්ලා කඩ කඩල පැනලා ගියාට පස්සේ අහිංසකයො දෙසීයකට අධික පිරිසක් මාස අටක් රක්ෂිත බන්ධනාගාරය තියාගෙන ඉඳලා නිදහස් කලා. ඒ අයට නඩු දාලා වැඩක් නෑ. එනිසා සැබෑ අපරාධකරුවාට පැනලා යන්න ඉඩ දීලා හැමවෙලේම පැත්තක ඉන්න අහිංසකයන්ව මෙහෙම අත්අඩංගුවට ගැනීම හරහා තමයි අද සමාජයේ සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙන්නේ මේ ගැටුම් පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව තමයි කියලා. ඡන්ද කල් දමා ගැනීමට අවශ්‍ය වාතාවරනය නිර්මාණය කරගන්න අගමැතිතුමාගේ සිහිනය වන විදේශීය හමුදාව ගොඩ බැස්සීම යථාර්ථයක් කරගන්න මේ ගැටුම් ඇති කරනවා කියලා. මංගල සමරවීර ඇමතිතුමා තලතා ඇමතිතුමිය දිගින් දිගටම කරන බෞද්ධ විරෝධී ජනතාව කුපිත කරන ප්‍රකාශ හරහා මේ යථාර්තය කියල ජනතාවට වඩාත් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා විපක්ෂයේ අපි උදව්වට දිගු කළ අත සපා කන්න එපා කියලා ආන්ඩුවේ නායකයින්ට දැනුම් දෙමින් මම නිහඬ වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress