හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට දස දෙසින් විරෝධය – පොලිස් මූලස්ථානයත් විමර්ශන අරඹයි
Posted on November 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ස්වාධීන මාධ්‍යයට බලපෑම් එල්ල කරමින් හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරය පිළිබඳ හිරු මාධ්‍ය ජාලය පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව ඊයේ කොළඹ නගරය අවට මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර, මරදාන සහ මොරටුව ප්‍රදේශවලදී අදාළ මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින්ද හිරු වාර්තාකරුවන්ගේ කැමරාවටද හසුව තිබුණා.

මෙම මඩ පෝස්ටර් පිළිබඳව හිරු මාධ්‍ය ජාලය ඊයේ පොලිස් මූලස්ථානය වෙත CIB 3-187/43 දරන අංකය යටතේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

එහි විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මෙම මඩ පෝස්ටර් සම්බන්ධයෙන් මහා සංඝරත්නය අදහස් පළ කළා.

මේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන්, ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන්, තිස්සමහාරාම – සඳගිරි – උභය රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් සහ ඌව – මඩකලපුව – බිංතැන්න තෙපලාතේ අධිකරණ සංඝ නායක පූජ්‍ය කහත්තේ සිරිනිවාස හිමියන් දැක්වූ එම අදහස්.

මේ අතර, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය, රාවණා බලය සංවිධානය ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද ලිපියක් භාරදුන්නා.

ජනමාධ්‍ය නිදහස සුරකිමු යන තේමාව යටතේ යොමුකර තිබූ එම ලිපියේ දක්වා ඇත්තේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගියදා හිරු ටී.වී. නැරඹීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ඊට දින දෙකකට පසු දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.

ඒ අනුව රාජ්‍ය ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි ස්වාධීන ජනමාධ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් එම සංවිධාන ඉල්ලා තිබෙනවා.

මේ අතර, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව එල්ල කර තිබූ මඩ පෝස්ටර් පිළිබඳව දේශපාලනඥයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් අද දිනයේද ස්ථාන රැසකදී අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress