රාජිතගේ සුදු වෑන් මාධ්‍ය හමුව ගැන, පොලීසියේ අවදානය
Posted on November 11th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අමාත්‍යවරයා සහ ඊට සහභාගි වූ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහලේ සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළා.
එමෙන්ම, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයෙකු විසින් ඊයේ මිරිහාන ප්‍රදේශයේ බෙදා හරිමින් සිටි මඩ පත්‍රිකා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන ලෙසට ද එම සංවිධානය පැමිණිලි කර තිබෙනවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සදහන් කළේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයින් පිළිබදව තොරතුරු පැවතියත් ඒ පිළිබදව දැනුම් නොදීම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත යුතු බවයි.
එමෙන්ම සුදු වෑන් රථයේ රියදුරු යැයි සැලකෙන පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා ද අපරාධයකට සම්බන්ධ බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගත යුතු බවයි උන්වහන්සේ සදහන් කළේ.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුව පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.