ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ධජය නිර්මාණය කරයි
Posted on November 18th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල තේමාව කර ගනිමින් මෙරට 7 වන විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කර තිබෙනවා.

කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස යොදාගෙන ඇත්තේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි.
ජනාධිපති ධජයේ නෙළුම් මලෙන් පාලකයා සතු නිර්මලභාවයත්, පිවිතුරු පාලනයත් පිළිඹිබු කෙරෙනවා.
නෙළුමේ කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සුත්‍රිකා මගින් නිරූපණය වන්නේ කීර්තිය සැම අත පැතිරී යෑමයි.
ඒ වටා ඇති කහ පැහැති රවුමෙන් ප්‍රඥාව ද සුදු පැහැති රවුමෙන් සත්‍යවාදී බවද නිරූපණය කෙරෙනවා.
සිව් කොන පිහිටි බෝපත් හතරෙන් බුද්ධාගම සහ ඉන් ජාතියට ලැබුණු ආභාෂයත් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිතා යන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් මෙලොව යහපතට හේතු වන කරුණු 4 නිරූපණය වනවා.
සිව්කොන පිහිටි නාමල් සතරෙන් ජාත්‍යන්තර සබදතා නිරූපණය වන අතර, එහි තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව ද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපිතයි.
එකිනෙකා අභිමුඛව පිහිටුවා ඇති වී කරල් සහ ඒ අතර ඇති කුරහන් මල් සහිත රාමුවෙන් නිරුපණය වන්නේ සශ්‍රිකත්වයයි.
කොඩියේ ප්‍රධෘන වර්ණය ලෙස කුරහන් ධාන්‍ය යේ වර්ණය වන තද දුඹුරු පැහැය යොදාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවත එන කෘෂිකාර්මික පදනම මුල්කරගත් ජන මූල පාරම්පරික නායකත්වය සංකේතවත් කිරීමේ අරමුණින්.
එක සමාන පළලකින් යුත් සුදු පටිය මගින් සියලු අතින් සලසන ආරක්ෂාව නිරූපණය කෙරෙනවා.
ඊට පිටතින් ඇති කහ පටිය මගින් නිරූපණය කෙරෙන්නේ ජාතීන් අතර එකමුතුව, සාමය සහ අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුළ පවත්නා ජීව ගුණයයි.
නව ජනාධිපති ධජය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීන නිර්මාණකරුවෙක් වන ජගත් ජයසිංහ මහතායි