ගෝඨාභය ජනාධිපති කරවන්න කැපවූ එජාප ප‍්‍රබලයන් මෙන්න..
Posted on November 20th, 2019

අරවින්ද අතුකෝරල  lanka C news

ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

මැතිවරණ ජයග්‍රහණයට වේදිකාවේ වැඩිම දායකත්වයක් ලබාදුන් අයට අපේ ප්‍රණාමය පුද කරන්නට අවශ්‍යයි. සමීක්ෂණයක් කර බැලුවා කවුද වේදිකාවේ වැඩිම දායකත්වයක් දැක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම සඳහා කියලා. මමනම් හිතන් හිටියේ එහි පළමුවැනි තැනට අපේ විමල් වීරවංශ මන්ත්‍රිතුමන් පැමිණේවි කියලා. එහෙත් සමීක්ෂණයට අනුව නම් වැඩිම දායකත්වයක් දක්වලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා. එතුමා කතා කරන්න, කතා කරන්න, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද වැඩිවෙලා තියෙනවා. දෙවෙනියට වැඩිම දායකත්වය දක්වලා තියෙන්නේ අපේ රාජිත සේනාරත්න අමාත්‍යතුමන් සහ එතුමන්ගේ සහය නළු නිළි කැලයි. තුන්වැනිව වැඩිම දායකත්වය මංගල සමරවීර මැතිතුමා සහ හතර වෙනියට පාච රණවක ඇමතිතුමා දායකත්වය දක්වා තියෙනවා. සරත් ෆොන්සේකා මහතා ද මෙම ලැයිස්තුවේ ඉන්නවා. ඔවුන් මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් විදියට කවුරුත් සමරන්නේ නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමන්ලා දැක්වූ දායකත්වයට ප්‍රණාමය පුද කරන්නට මේක මුලින්ම අවස්ථාවක් කර ගන්නවා.

මානසික ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ජනපතිවරණය

ජනාධිපතිවරණ සමයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා එජාපයෙන් සිදු නොවුණු බවට කෙරෙන ප්‍රකාශ වැරදියි. භෞතික ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවට මානසික ප්‍රචණ්ඩ ක්‍රියා තමයි එජාපය සිදු කලේ. බොරු නඩු 17ක් ගොනු කරලා ගෝඨාභය මැතිතුමා දූෂිතයෙකු කියන්න මුලින් උත්සාහ කළා. ඊ ළඟට ලංකාවේ පුරවැසියෙකු නොවේ, තවමත් ඇමෙරිකානු පුරවැසියෙක්, සුදු වෑන් වලින් තරුණයින් උස්සලා මිනී මෝරුන්ට කන්න දුන්නා, පාස්කු ප්‍රහාරය ගෝඨාගේ සැලැස්මක්, ගෝඨා රට පනින්න සූදානමක් යනාදි වශයෙන් මොනවාද නොකිව්වේ?

ගෝඨාභය මැතිතුමා දූෂිතයෙක්, මිනීමරුවෙක්, දේශද්‍රෝහියෙක් යන ප්‍රතිරූපය හදන්න දවස පුරා මාධ්‍ය හරහා බොරු වැපිරෙව්වා. ඒ බොරු නිසා මිනිස්සුන්ගෙ සිත් ව්‍යාකූල වුණා. ඒක ඇත්තෙන්ම මානසික ප්‍රචණ්ඩ ක්‍රියාවක්. අපිට මතකයි පාච රණවක මැතිතුමා ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ ඡායාරූපය පවා විකෘති කරමින් කූට ලේඛනයක් හැදුවා 2015 ජනාධිපතිවරණයේදී. එදා හදපු කූට ලේඛන වලට එදා ප්‍රචාරය කළ බොරු වලට නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගත් නිසා තමයි 2019 ජනාධිපතිවරණය වන විට බොරුව, මඩ සහ කූට ලේඛන කීපගුණයකින් වර්ධනය වෙලා ජනාධිපතිවරනයේදී ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩව එල්ල වුණේ. ඒ නිසා මී ළඟ ජනාධිපතිවරණයේ දී ජනතාවට සත්‍ය පමණක් ලැබීමට නම් කූට ලේඛණ සාදමින් බොරු වැපිරූ අයට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

දෙමළ සහ මුස්ලිම් ජනතාව ගෝඨාභය මැතිතුමාට ඡන්දය ලබා නොදුන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලබා දිය යුතුයි. එජාපය මේ මැතිවරණය ජය ගන්න උත්සාහ කලේ බොරු වැස්සකින්. අපට ඒ පිළිබඳ තොරතුරු ලැබුණු නිසා ඒ්වා හෙලිදරව් කරමින් ඒ පිළිබඳ ඇත්ත ජනතාවට කියන්න අපට පුළුවන් වුණා. නමුත් අපට දෙමළ කතා කරන සමාජය ඉදිරියේ මෙම බොරු හෙලිදරව් කිරීමට සමත් මානව සම්පත් තිබුණේ නෑ. ඒ නිසා දකුණේ ජනතාව බොරු වැස්සෙන් බේරුණා. නමුත් උතුරේ ජනතාව බොරු වැස්සට අහු වුණා.

වලිගය විසින් සිංහයා නැටවූ යුගය ඉවරයි

මේ රටේ බහුතර ජනතාව බඩ ගැන වෙනුවට රට ගැන හිතපු මැතිවරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. නොමිලේ කෑම, නොමිලේ ඇඳුම්, නොමිලේ නිවාස, නොමිලේ තව තව දේවල් ප්‍රතිවාදි අපේක්ෂකයා පොරොන්දු වෙන විට ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා මව්බිමේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජනතාව ඡන්දය දුන්නා. මීට පෙර ජනාධිපතිවරණ වල දී අන්තවාදින් සහ බෙදුම්වාදින් රටට සතුරු කොන්දේසි දමමින් ජනාධිපති අපේක්ෂකයින් සමග කේවල් කළා. මෙවරත් දෙමළ ජාතික සංධානය අතිශයින්ම අන්තවාදි බෙදුම්වාදි යෝජනා 13ක් ඉදිරිපත් කළා. රට පාවා දී ලැබෙන ජනාධිපතිකමට වඩා පරාජය උතුම් කියලා ගෝඨාභය මැතිතුමා ඒ යෝජනා ප්‍රතික්ෂේප කළා. නමුත් ජනපතිකම වෙනුවට මව්බිම තෝරා ගත් ඒ උතුම් මිනිසා ජනතාව විසින් ජනපති ධූරයට ඔසවා තැබුවා.

වලිගය විසින් සිංහයා වනපු යුගය මෙවර ජනාධිපතිවරණයෙන් අවසන් වුණා. දැන් උදා වී තිබෙන්නේ සිංහයා විසින් වලිගය වනන යුගයයි.

ජවිපෙට මී ළඟ පාර්ලිමේන්තුවේ හිමි එක් මන්ත්‍රි ධූරයයි

ඇපත් නැතිවුන ජනතා විමුක්ති පෙරමුණ ගැනත් අප කතා කරන්නට අවශ්‍යයි. මෙම මැතිවරණයේ දී ශෝචනීයම ඉරණම අත් වුණේ ජවිපෙටයි. දැවැන්ත වියදමක් කරපු, රට පුරා පෝස්ටර් වලින් නහවපු, ගාළු මුවදොර පිට්ටනිය පුරවලා පෙන්නපු ජවිපෙට ලැබුණේ ඡන්ද 3%යි. ඒ පිට්ටනියට ආපු අයගෙන් පවුල් පිටින් ඡන්දය දුන්න නම් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ඡන්දයක් ලැබෙන්නට ඕනෑ.

මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා නම් එක් එක් පක්ෂයට ලැබෙන මන්ත්‍රි ධූර ගණන මම ගණනය කළා. ජවිපෙ 5% සීමාව ඉක්මවා ගොස් මන්ත්‍රි ධූරයක් ලැබීමට සළු වී තිබෙන්නේ හම්බන්තොට දී පමණයි. ඒත් යාන්තම් 6.2% පමණයි. ඒ ප්‍රතිශතය මන්ත්‍රි ධූරයක් ලබා ගැනීමට ප්‍රමාණවත් නෑ. ඒ අනුව ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයකින් මන්ත්‍රිධූරයක් ලබාගන්නේ නෑ. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ජවිපෙට හිමි වන්නේ එක මන්ත්‍රි ධූරයක් පමණයි. ඒ කියන්නේ ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලනය ආරම්භ කළ අවස්ථාවේ 1994 දී හිමි වුණු එක් මන්ත්‍රි ධූරයට අවුරුදු 25කට පස්සේ නැවත ගමන් කරනවා කියන එකයි.

ඒක දෛවයේ සරදමක් කියලයි හිතෙන්නේ. පසුගිය වසර පහ පුරා අගමැති රනිල්ගේ රට පාවා දෙන ඩීල් වලට ජවිපෙ සහය ලබා දෙන බ්‍රෝකර් කම කලැයි චෝදනාව අනුර කුමාර මැතිතුමාට එල්ල වුණා. ඕනෑම ඩීල් එකක දී බ්‍රෝකර්ට ගෙවන 3% කොමිස් එක ජනතාව විසින් අනුර කුමාර මැතිතුමාට ලබා දීලා තිබෙනවා. එමඟින් ඔබ එජාපය සමග ඩීල් දැමීමේ බ්‍රෝකර්වරයාය කියන එක ජනතාව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණට තවමත් ඡන්දය දෙන, රටට ආදරය අය සිටින නිසා අප ඒ පාක්ෂිකයන්ට කියනවා, මේ මහා ප්‍රෝඩාව සාතිශය බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කළා. ඔබටත් මේ බ්‍රෝකර් ගාස්තුවෙන් කොටසක් ලැබෙන නිසා ජනතා විමුක්ති පෙරමුණ සමග ඉන්නවා නම් කමක් නැහැ. එහෙමම ඉන්න. රට හදන්න නම් රට රකින්න නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා අප ජවිපෙ සාමාජිකයන්ට ආදරණීය ඉල්ලීමක් කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress