හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩය
Posted on November 20th, 2019

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක

2019 නොවැම්බර් 20

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කර සිටිමි. ගරු දි.මු ජයරත්න මැතිතුමා මාගේ පැරණිම දේශපාලන මිත්‍රයෙක් සහ අප ප්‍රගතිශීලී කඳවුරේ සගයෙක් යැයි කිවහොත් එය නිවැරදිය. මා පළමු වරට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරීපත් වූ 1970 වසරේදී දි.මු ජයරත්න මැතිතුමාද ගම්පොල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය.  ඔහු අප පක්‍ෂයේ දක්‍ෂ කථිකයෙකු ලෙසද ප්‍රබල විවාද කරුවෙකු ලෙසද කැපී පෙනුනි.

1977 දී අප පක්‍ෂය විපක්‍ෂයේ අසුන්ගත් පසු දි.මු ජයරත්න මැතිතුමා විපක්‍ෂයේ දේශපාලනඥයෙකු වශයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අර්බුද වලට මුහුණ දුන් අවස්ථාවලදී පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා වැදගත් භූමිකාවක් ඉටුකළ නායකයෙකි. 1989 දී ඔහු සමඟ මමද නැවතත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බවට පත්වූයෙමු. එම වකවානුවේදී එජාප ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ජනතා විරෝධී ක්‍රියාකාරකම් උච්ච අවස්ථාවකට පත් වූ අතර එම අවස්ථාවලදී දි.මු ජයරත්න මැතිතුමා තම පක්‍ෂය මෙන්ම විපක්‍ෂය වෙනුවෙන් ප්‍රබල සෙන්පතියෙකු ලෙස ක්‍රියා කළ බව අපේ මතකයට නැගේ.

1994 දී ගරු දි.මු ජයරත්න මැතිතුමාත් මමත් පළමු වරට ඇමති වරුන් බවට පත්වූයෙමු.  2010 සිට 2015 දක්වා මා ජනාධිපති වශයෙන් පත්වූ අතර  අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ දි.මු. ජයරත්න මැතිතුමාය. එතුමාගේ පාර්ලිමේන්තු කාර්යභාරය තුළ  මුලු රටේමත්, විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශයේ පොදු ජනතාවගේ ඉමහත් ආදරය දිනාගෙන ක්‍රියා කළේය.  ගරුතර මහා නායක නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයද එතුමාට නිරතුරුවම ලැබිණි.

දි.මු. ජයරත්න මැතිතුමා අප රටේ කෘෂි කර්මාන්තයටත් පරිසර සංරක්‍ෂණයටත් විශේෂ ඇල්මක් දැක්වූ ඇමතිවරයෙකු විය.  එතුමාගේ සංකල්පයක් මත නිර්මාණය කරන ලද අම්බුලුවාව පරිසර ව්‍යාපෘතිය එතුමාගේ නමත් සමඟ බැඳි ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටද සමත් වී ඇත. ගරු දි.මු ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව එතුමාගේ  ආදරණීය බිරිඳ අනුලා යාපා මැතිනිය, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුරාධ ජයරත්න මැතිතුමා සහ දියණියන්ටත් පවුලේ සියලුම නෑදෑ හිතවතුන්ටත් එතුමාට මහත්ලෙස ආදරය කළ කන්ද උඩරට ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කර සිටිමි. 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress