සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි, අත්අඩංගුවට ගන්නැයි, පොලිස් කොමිසමට පැමිණිලි 5ක්
Posted on November 25th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
දේශපාලන වුවමනා මත මතභේදාත්මක ලෙස පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව පාර්ශව 5ක් විසින් පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර අත්අඩංගුවට ගත යුතු අතර, පසුගිය රජය සමයේ ඔහු මෙහෙය වූ නඩු යළි සලකා බැලීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවයි.
මීට අමතරව, ඔහු රටින් පැනයාමේ සූදානමක් ද පවතින බැවින් ඒ පිළිබදව ද අවධානය යොමුකළ යුතු බවට ඔවුන් යොමුකළ පැමිණිලිවල සදහන්.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පොලිස් කොමිසම විසින් ගාල්ල නියෝජය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යවා තිබෙනවා.
එහෙත්, ඔහුට ස්ථාන මාරු ලබාදීම වෙනුවට ඔහුගේ සේවය අත්හිටුවිය යුතු බවටයි එම පාර්ශව කරුණු දක්වමින් පොලිස් කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ.
සිංහලේ අපි ජාතික ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන්, රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මෙම පැමිණිලි ගොනු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැමිණ ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබුවා. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සම්බන්ධයෙන් කතා කිරීම නිසා තමාට ද පසුගිය රජයෙන් ස්ථාන මාරු ලබාදුන් බවයි.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා රටින් පළා යාම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විදෙස් රටකට පළා ගොස් ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව බවයි.
ඔහු විසින් පසුගිය වසර 4ක කාලය තුළ සිදුකළ විමර්ශන පක්ෂග්‍රාහීව සහ අයුක්තිසහගතව සිදුකළ බවට ද විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස නොයෙකුත් පාර්ශව ඉල්ලා සිටින වාතාවරණයක් තුළයි අදාළ නිලධාරියා විදෙස් රටකට පළා ගොස් ඇත්තේ.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක විමර්ශන කිහිපයක් භාරව සිටි ස්ථානාධිපතිවරයෙකු මෙලෙස කිසිදු අවසරයකින් තොරව පළා යාම බරපතල ගැටළුවක් ද වන බවයි
එමෙන්ම, දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුගේ ලේඛනයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ නම ද එම ලේඛනයට ඇතුළත්.