පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පැවති රජයට හැකියාව තිබූ බව මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි
Posted on December 10th, 2019

Hiru News

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු පැහැදිලි නොවන බවට ඇතැම් වගකිවයුත්තන් පැවසුවද එම තොරතුරු පැහැදිලි බුද්ධි තොරතුරු බවත් ඒ ඔස්සේ ප්‍රහාරය වළක්වා ගැනීමට පැවති රජයට හැකියාව තිබූ බවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විශේෂ ආරාධනයකට අනුව සාක්ෂි ලබාදීම සඳහා මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා අද එම කොමිසම හමුවේ පෙනී සිටියා.

මෙරට ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සිදුවෙමින් ඇති බවට රොහාන් ගුණරත්න මහතා 2016 වසරේ පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දෙමින් ගුණරත්න මහතා පැවසුවේ 2016 වසර වන විටත් අයි.එස්. සංවිධානය සමග සබඳතා පැවැත්වූ මෙරට පුද්ගලයින් 200 ත් 300 ත් අතර පිරිසක් සම්බන්ධයෙන් තමන්ට කරුණු අනාවරණ වූ බවයි.

ඒ අනුව තමන් එවක රජයට අනතුරු ඇඟවීම් සිදුකළ බවද ඔහු පෙන්වා දුන්නා.

පාස්කු ප්‍රහාරයට පෙර ලැබී තිබූ තොරතුරු අපහැදිලි බවට ඇතැම් වගකිව යුත්තන් ප්‍රකාශ කර තිබීම නිසා එම තොරතුරු පූර්ව බුද්ධි තොරතුරු ලෙස සැලකිය හැකිද යන්න ජනාධිති කොමිසමේ සභාපති ජනක් ද සිල්වා මහතා ප්‍රශ්න කළා.

එහිදී ගුණරත්න මහතා සඳහන් කළේ ප්‍රහාරය එල්ල කරන කණ්ඩායම, එල්ල විය හැකි දිනය, එහි අරමුණ සහ ප්‍රහාරයේ ස්වභාවය නිශ්චිතව තිබූ බැවින් එම තොරතුරු පැහැදිලි බුද්ධි තොරතුරු ලෙස සැලකිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කළේනම් දිව්‍ය පූජා අවලංගු කරමින් ප්‍රහාරය වළක්වා ගැනීමට පැවති රජයට හැකියාව තිබූ බවද ගුණරත්න මහතා පෙන්වා දුන්නා.

යම් රටක ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය වීමට එරට පවතින දේශපාලන වාතාවරණය කෙතරම් දුරට හේතුවන්නේද යන්න කොමිසමේ නියෝජිතයින් මහාචාර්යවරයාගෙන් ප්‍රශ්න කළා.

එහිදී ගුණරත්න මහතා පැවසුවේ කිසියම් ජාතියකට හෝ ආගමකට හෝ පමණක් වෙන්වූ දේශපාලන පක්ෂ බිහිවීම අන්තගාමී අදහස් වර්ධනය වීමට හේතුවන බවයි.

එබැවින් රටක් ලෙස ඉදිරියට යාමටනම් මෙරට පවතින ආගමික සහ ජාතික වශයෙන් වෙන්වූ පක්ෂ තහනම් කළ යුතු බවද මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress