ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට, විදෙස් ගත වීම තවදුරටත් තහනම් – විශේෂඥ මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමටත් අවසර
Posted on December 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

පැහැර ගැනුණු බවට පැවසූ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමඟ නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූයේ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ව නොමැති බවයි.

අධිකරණ නියෝගයට අනුව අදාළ තැනැත්තිය කායික සහ මානසික පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමුවට යොමුකළ බව සඳහන් කළ රජයේ අධිනීතිඥවරයා, ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂණය සඳහා ඇයව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්දේශ කර ඇති බවද සඳහන් කළා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ අදාළ තැනැත්තිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හෙට දිනයේ විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට සූදානම් කර ඇති අතර, එම වාර්තා ලැබීමෙන් අනතුරුව එය සමඟ, ඇය පිළිබඳව සිදුකරන ලද කායික වෛද්‍ය වාර්තාවද ඉදිරිපත් කළ හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම් දී ඇති බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා දැනුම් දුන්නා.

මෙතෙක් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ව නොමැති බව අධිකරණයට දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා, ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කිරීම සඳහා ඇයව ලබන සඳුඳා දින යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා. <

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ තම සේවාදායිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 20 කට අධික කාලයක් දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මේ වනවිට යම් අසනීප තත්ත්වයකින් පසුවන බවයි.

එබැවින්, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවසේදී ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිඥවරයා ඉල්ලීමක් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ බවයි.

ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යනු ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන බැවින් එහි මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම නෛතිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයක් බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළා.

එබැවින් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය ඔස්සේ ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන සියළු විමර්ශනයන්ගේ ප්‍රගතිය ලබන 17 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස දැනුම් දුන්නා.

මේ අතර, ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පසුගිය 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී මංජුල පෙරේරා නම් පුද්ගලයෙකු ගානියාගේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මාධ්‍යවේදීන්ට සඳහන් කළේ ඊට පසුදින ගානියා බැනිස්ටර් කොළඹ – බාන්ස් පෙදෙසේ පිහිටි නිවසකදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙන බැවින් ඒ සඳහා පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති කණ්ඩායම සහ තවත් මාධ්‍යවේදීන් රැසක් ඊට පසුදින වන 09 වැනිදා එම ස්ථානයේ දිගු වේලාවක් රැඳී සිටියද ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හෝ මංජුල පෙරේරා එහි පැමිණියේ නැහැ.

මේ අතර, ගුවන් යානයක සිට ලබාගත් ඡායාරූපයක් ගානියා බැනිස්ටර්ගේ නියෝජිතයා ලෙස පෙනී සිටි මංජුල පෙරේරා අද පෙරවරු 07 ට ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

ඔහු එම ඡායාරූපය ලබාගෙන තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් විදේශ ගමන් බලපත්‍රයක් ප්‍රදර්ශනය කරමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress