පාන් පිටි මිල අඩු කිරීම දෙස බැලිය යුත්තේ කෙසේද?
Posted on December 19th, 2019

චන්දුසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ පාන්පිටි මිල අඩු කිරීම සම්බන්ධව විවිධ මත රාශියක් විවිධ පාර්ශවයන්ගෙන් රටට මුදා හැරෙමින් පවතී. සමස්තයක් වශයෙන් මේ රටට පාන් පිටි ගෙන්වීම සම්පුර්ණයෙන්ම නවතාලිය හැකි නම් ඉතා හොඳ කාර්යයකි. එය තීරණය කල යුත්තේ, මෙරට ජනතාවය. 1505දී  පාන් මේ රටට හඳුන්වාදීමත් සමග පාන්පිට් ව්‍යාප්තිය මේ රට පුරා විසිරි පැතිරී ගොස් එය ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් බවට පත්ව ඇත. අපට මෙරටට පාන් පිටි ගෙන්වීම උදෙසා විශාල විදේශ විනිමයක් වැය කිරීමට සිදුව ඇති අතර එය නවතා ලීම තුලින් අති විශාල ධනයක් මෙරට තුල ඉතිරි කර ගත හැක. නමුත් අති විශාල ජනතාවක් සිය ආහාරය පිණිස පාන්පිටි වලට ඇබ්බැහි වී සිටින තත්වයක් තුලදී, එය අපිට ඕනෑ ආකාරයට නවතාලිය නොහැක. ඉතිහාසය විසින් වරක් අපට උගන්වා ඇති පාඩම නැවත ඒ වරදම සිදුකර ඉගෙන ගැනීමට තරම් අප අනුවන ජාතියක් විය යුතු නැත. පාන්පිටි සම්බන්ධ ගැටලුව ඉතා බුද්ධිමත්ව විසඳිය යුතු, වැරදුනොත් ප්‍රබල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැක ක්‍රියාවලියකි.

මේ වන විට අනිකුත් ද්‍රව්‍යන්ගේ මෙන්ම පාන් පිටි වලද මිල අඩුකර ඇත. පාන් පිටිමිල අඩු කිරීම පාන් පිටි පාරිභෝගිකයාගේ හිත සුව පිනවන කටයුත්තකි. එහි වරදක් නැත. වරද වන්නේ හාල් මිල එකාධිකාරයක්ව පවත්වාගෙන යමින් සිටින ඒකාධිකාරී ව්‍යාපාරිකයන් නිරතුරුවම හාල් මිල තමන්ට හිතෙන හිතෙන ආකාරයට ඉහල නැංවීමයි. මේ ගනු දෙනුව දෙස ඉතා සුක්ෂමව බලන විට ජනතාව මෙරට හාල්  එකාධිකාරයටත්, විදේශීය පාන් පිටි එකාධිකාරයටත් කොටුවී වේදනා විදිමින් සිටින බව පළමුව අවබෝධ කරගත යුතුය. මේ අනුව ජනතාවට සැබෑ සහනයක් දීමට නම්, සහල් මිලත් පාන් පිටි මිලත් අඩු කල යුතුය. ඒ සඳහා රජයට හාල් ඒකාධිකාරයට මෙන්ම පාන්පිටි ඒකාධිකාරයට පහරදී බිඳ වැට්ටවීමේ කර්තව්‍යට ත ගැසීමට සිදුව ඇත. පවතින හාල් ඒකාධිකාරය මෙන්ම පාන්පිටි ඒකාධිකාරයද, පවතින රජයට හෝ ජනතාවට හිතවත් ව්‍යාපාරිකයින්ගෙන් යුතු ආයතනයන් නොවේ. ඔවුන් රජයට මෙන්ම මෙරට ගොවියාට හා ජනතාවටද එරෙහිව තම බලය පාමින් නිර්දය ලෙස ජනතාව සුරා කන ආයතන බව වටහා ගත යුතුය. මේ බව මැනවින් අවබෝධ කරගත් රජයක් වර්තමානයේදී බිහිව ඇත. එබැවින් මේ රජයට පාන්පිටිවලින් වෙන හානියවත් බත් කෑමෙන් ජනතාවට සිදුවෙන සෙතවත් කතා කිරීමට පෙර, මේ දෙකටම හුරුවූ ජනතාව මේ එකාධිකාරිත්වයෙන් මුදවා ගැනීමේ කාර්යට ඇත ගැසීමට සිදුව ඇත.  ඒ අනුව මේ එකාධිකාරී සමාගම් වලින් මෙරට ගොවියන් හා ජනතාව නිදහස් කර ගැනීමේ සටනක් දියත් කිරීමට සිදුව තිබේ. මේ රජය බලයට පැමිණි විට ක්ෂණිකව හාල් මිල ඉහල දැමුවේ ජාතික සමාගම් යයි කියන මේ හාල් එකාධිකාරින් වන අතර, එම පීඩනයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා සහල් වලට උපරිම මිලක් නියම කලහ. ඉන් නොනැවතී තිරිඟු පිටි සඳහා බදු අඩු කොට පාන් පිටි මිලද අඩු කළහ. තවද පාන්පිටි ඒකාධිකාරය බිඳ දමමින් තවත් ව්‍යාපාරිකයින්ට මෙරට පාන්පිටි ගෙන්වීමටද අවසර දෙන ලදී. පාන්පිටි ගෙන්වීමේ අයිතිය තරග කාරිත්වයකට බාජනය කිරීම තුලින්, පාන්පිටි ඒකාධිකාරය බිඳ වැටෙන අතර, පාන් පිටි මිල පහල වැටීමද සිදුවේ. මේ සිදුකර ඇති ක්‍රියාවලිය තුලින්, හාල් මිල උපරිමය රුපියල් 98.00 ලෙස නියම කිරීමත්, තිරිඟු පිටි මිල පහත වැටීමත්, තිරිඟු පිටි ඒකාධිකාරය බිඳ දැමීමේ ආරම්භක පියවරත් ගෙන ඇති බව අපි දකිමු.

රජය තිරිඟු පිටි බ්දු අඩු කිරිම් තුලින් අපි දකින්නේ හාල් එකාධිකාරිත්වයට රජයේ අනුග්‍රහයක් නොදක්වන බවයි. පාන්පිටි ගෙන්වීමට අනික් වෙලෙදුන්ටත් අවසර දීම තුලින් රජය පෙන්වා දෙන්නේ පාන්පිටි එකාධිකාරිත්වයටත් රාජ්‍ය අනුග්‍රහයකත්වයක් ලබා නොදෙන බවයි. එසේ නම් මේ රජය අනුග්‍රහයකත්වය දෙන්නේ මෙරට ජනතා අභිලාෂයන් උදෙසා බව තේරුම් ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුය. තවද රජය රුපියල් 98.00 කල හාල් මිල උපරිමය, ක්‍රියාත්මක කිරීමට හාල් එකාධිකාරින් සුදානම් නැති බවක්ද අපි දකිමු. දැන් දැන් නිර්මාණය වෙන්නේ, රජය සමග හාල් ඒකාධිකාරය හා තිරිඟු පිටි එකාධිකාරිත්වය සමග ප්‍රබල සටනක් නිර්මාණය වීමයි. මේ සටන බලවත් සටනක් වන අතර, නිසි කළමනාකාරිත්වයකින් තොරව සිදු කලොත් ජනතාවට පාන් පොලින් වල හා හාල් පොලින් වල සිටීමේ තත්වයක් ඉතා ඉක්මනින් මේ එකාධිකාරින්ට නිර්මාණය කල හැක. මේ සටනේදී, හාල් එකාධිකාරින් හා පාන්පිටි එකාධිකාරින් එකම පිලකට වී මේ රජයට එරෙහිව සටන් වදිනු ඇත. ඒ සටන මේ රජයට මේ ආරම්භක අවදියේදීම මුහුණදීමට සැලැස්වීම මේ රජය නිර්මාණය කල ජනතාවගේ අවශ්‍යතාවය නොවේ. එබැවින් එක කන්නයක් වී අස්වැන්නක් ලැබෙන තුරු ඉවසා වදාරා, පාන්පිටි වල බදු අඩුකලා යන චෝදනාවෙන් පහරදීම නවතාලන්නේ නම් යෙහෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress