යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැනවූ, ඇමරිකානු සංචාරක තහනමට ලක් රජයේ දැඩි විරෝධය
Posted on February 15th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙලෙස සංචාරක තහනමක් පනවා ඇති බවයි.

ඔහු මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග මෙම තහනම පනවා ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එවකට රාජ්‍ය නායකයා විසින් යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබූයේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ කිසිදු සනාථ කළ චෝදනාවක් නොමැති බවත්, රජය අවධාරණය කළා.

වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ විසින් ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස් කරනු ලැබූයේ ඔහු දීර්ඝ කාලයක සිට සේවයේ නිරත ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වීම හේතුවෙන්.

ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 ක කාලයක් ගත වීමෙන් අනතුරුව, මෙම සංචාරක තහනම පනවා තිබෙනවා.

එමෙන්ම, විශේෂඥතාවකින් යුත් පුද්ගලයන් ජාතික ආරක්ෂාවට අදාළ තනතුරු දැරීම පදනම් කරගෙන විදේශීය රාජ්‍යයක, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ජනාධිපතිවරයෙකුගේ පරමාධිපත්‍යය පිළිබඳව ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණක් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ නිසා තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර එම තීරණ සමාලෝචනය කරන ලෙස ලක් රජය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුද්ධයේ අවසන් අදියරේ 58 වන බලසේනාංකයේ අණදෙණ නිලධාරියා වශයෙන් ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විශ්වසනීය සාක්ෂි පවතින බවයි.

ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙයුම් සහ පරිපූරක වැඩසටහන් පනතට අනුකූලව ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එමගින් නිවේදනය කළා.

එහෙත්, ලක් රජය සහ ශ්‍රී ලාංකීය ජනතාව සමග පවතින ද්වීපාර්ශවික සබඳතා අඛන්ඩව පවත්වා ගැනීමටත්, ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්  ඇමරිකා එක්සත් ජනපදය කැපවී සිටින බවයි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඇමරිකා එක්සත් ජනපදය ගෙන ඇති මෙම තීරණය අනුමත නොකරන බව මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress