19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුවේ තිරයෙන් වසා ගැනීමට ඉඩ දෙමුද?
Posted on February 20th, 2020

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත් කර ඇති බවට 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා විසින් එකී ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් බවත් ජාතිවාදී ස්වභාවයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ඉල්ලීමක් බවට සමාජයේ අදහසක් ඇත. මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම ඉටු කරනු නොලැබූ බවත් වර්තමාන රජය විසින් දැන හෝ නොදැන සායින්දමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් බවට පත් කිරීමට අවශ්‍ය නිල පිළිගැනීම ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති බවත් සාකච්ඡාවට ලක් වී ඇත.

සායින්දුමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක්නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන් සහාය දීමටද? යන ප්‍රශ්නයද මේ වන විට විවෘතව සාකච්ඡා කරන මට්ටමට පත් වී ඇත.

සායින්දමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක් වන්නේ නම් එය වෙනම රටක් වෙනුවෙන් නම් එනම් එමගින් ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීමක් සිදුවන්නේ නම් එයට අදාල නීතිමය පිළිගැනීම ලබා දී ඇත්තේ 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ය. රටේ ඒකීය බව ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ යුත්තේ වහාම එකී ගැසට් පත්‍රය අහෝසි කිරීමට තව ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම හෝ ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීමට ඇති විධිවිධාන යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහන පැතීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (1) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී හෝ ආධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, යම් දේශපාලන පක්ෂයක හෝ වෙනත් සංගමයක හෝ සංවිධානයක අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් වේ නම්, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක්ව ඇති බවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් යම් තැනැත්තකු විසින්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ ලේකම් නැතහොත් වෙනත් නිලධරයා ඒ ඉල්ලීමට වගඋත්තරකරුවකු කරනු ලැබිය යුතු ය.

සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ ගැසට් පත්‍රයක් පළකර තිබේද?

මහනගර සභා ආඥා පනතේ (252 පරිච්ඡේදය) 284 වගන්තිය යටතේ 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා කටයුතු කළද මේ දක්වා එකී ගැසට් පත්‍රය අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට විධිමත් ලෙස ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර නැත. ඒ අනුව මගින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් මේ දක්වා නීතිමය ලෙස සිදු වී නැත.

සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවන බව රජය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළද මේ දක්වා එකී ගැසට්ටුව අත්හිටුවීමට අවශ්‍ය නීතිමය පිළිගැනීම ලබා දෙන ගැසට් පත්‍රයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළකර නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන්ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් මුල්වරට 2002 වර්ශයේ දී  පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් විධායක ජනාධිපති බලතල අහිමි කරමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යවකගේ සම්මතය ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් විය යුත්තේ ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමැතිය ලබා දී ජනාධිපතිවරයා විසින් එයට සහතිකය යෙදීමෙන් පසුව බවට 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාවක් විසින් තීරණය කර තිබුණි.

2වන වරටත් නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් 2002 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ පරිදිම විධායක ජනාධිපති බලතල අහිමි කිරීමට අදාල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ සීමාව වසර 4 ½ක් දක්වා දීර්ඝ කර තිබුණි. 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අදාල විධිවිධානය නීතියක් වීමට නම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාව විසින් තීරණය කළ ජනමතවිචාරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයාගේ සහතිකය හිමි විය යුතුය යන අවශ්‍යතාවය මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් වෙනස් කර නැත.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද?  

එවන් තත්ත්වයක් යටතේ නීතියක් නොවූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත බලහත්කාරයෙන් පවත්වාගෙන යමින් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කිහිප දෙනෙකු ක්‍රියා කරයි. මෙය නිවැරදි කිරීම අද දවසේ ප්‍රමුඛ කාර්ය වන අතර සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම මෙන් පහසුවෙන් එයද කළ හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව පවත්වාගෙන යන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙතුවෙන් රටේ ඒකීයත්වයට, ජනතාවගේ පරමාධිපත්‍යයට, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමට සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යන ප්‍රතිපාදනවලට බලවත් අනතුරක් ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  2, 3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණා සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයක් නියම කළද එය නොතකා එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ 79 ව්‍යවස්ථාව සහ 80.2  අනු ව්‍යවස්ථාද උල්ලංඝනය කරමින් 80.1 අනු ව්‍යවස්ථාව යටතේ කථානායකවරයාගේ සහතිකය යොදා (19වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්) 2, 3 සහ 9වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුව කටයුතු කළ හැකිය.

වර්තමානයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස නීතියක් කර ගෙන යන ආකාරයට ඉදිරියේ දී 2, 3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණාද සංශෝධනය කිරීමේ අනතුර සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් පත්‍රය හරහා ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන – 2020.02.20                             arunaunawatuna@gmail.com

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress