ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ වූ අතර එය මීට ටික වේලාවකට පෙර අවසන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිිරි මැතිවරණයට තරඟ කරන ලකුණ පිලිබඳ අදත් තීරණයක් ගෙන නැහැ.

යළි ලබන ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය එළිදැක්වීම සහ ඊට සහය දක්වන පක්ෂ සමඟ ගිවිසුම්ගත වීම ලබන සඳුඳා පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ආරාධනයක් සිදුකර ඇති අතර, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ එම ආරාධනය පිළිගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, නව සන්ධානයේ ලකුණ සහ ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වනවා.

ඒ අනුවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු 03ට පමණ ආරම්භ වුණේ.

මේ අතර, තම පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක්ව ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සිරිකොතදී තවත් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ආචාර්ය අජන්තා පෙරේරාද එක්ව සිටියා.

මේ අතර, හැට නව ලක්ෂයට එක්වන්නැයි යන්න තේමා කරගනිමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ පස්වරුවේ සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress