ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි
Posted on February 29th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා දින ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි ප්‍රහාරය එල්ල වූ දින ලැබුණු පණිවුඩයේ දින වෙනස් කිරීමට සිය ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ කොළඹ – උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා බලපෑම් කළ බව එවක ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයා අද අනාවරණයක් සිදුකළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතායි.

සහරාන් නම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කරන බවට සිය පොලිස් ස්ථානයට VPN පණිවුඩ හුවමාරු ක්‍රමය හරහා පණිවඩයක් මුල්වරට ලැබුණේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදා දිවා කාලයේදී බව ඔහු එහීදී ප්‍රකාශ කළා.

ස්ථානාධිපතිවරයාගෙන් එහිදී ප්‍රශ්න විමසීම සිදුකළේ ප්‍රහාරය සිදූවූ සමයේ ඔහුගේ ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ කොළඹ – උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියයි.

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු තොරතුර පහළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර කොමිසමේදී පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා චෝදනා එල්ල වුණා.

ඔහුගේ නීතිඥවරිය එහිදී ප්‍රශ්න කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පණිවුඩය ප්‍රහාරයට පෙර ලැබුණා යැයි දිනය වෙනස් කිරීමට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්නයි.

අවස්ථා කිහිපයකදීම පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා දුරකථනයෙන් සහ පොලිස් ස්ථානයට පැමිණ දිනය වෙනස් කිරීම සඳහා උපදෙස් දුන් බව ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අනතුරුව නිතීඥවරිය විමසා සිටියේ මීට පෙර පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි දෙමින් අදාළ පණිවුඩය අප්‍රේල් 13 වැනි දින ලැබුණේ යැයි ප්‍රකාශ කළේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ තමන් පළමු අවස්ථාවේදී එවැන්නක් කියූ බවත් එය අසත්‍යයක් බව තමන් පිළිගන්නා බවයි.

පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ බලපෑම මත එම ප්‍රකාශය කළ බවත්, පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීමට පෙරද, සිය ඉහළ නිලධාරියා තමන්ගෙන් ඒ පිළිබඳ විමසිම් කළ බව ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එවිට නීතිඥවරිය විමසා සිටියේ සිය ඉහළ නිලධාරියාගෙන් එවැනි බලපෑමක් එල්ල වුණේදැයි පොලිස් ස්ථානයේ සටහන් පොතේ සටහනක් තැබුවේද යන්නයි.

සිය ඉහළ නිලධාරියා පිළිබඳ මෙවන් සාක්ෂියක් දීමට වේ යැයි නොසිතූ නිසා අදාළ උපදෙස ක්‍රියාත්මක කළ බවත්ල ඔහුට ප්‍රශ්නයක් වේයැයි සිතා තමා එය ක්‍රියාත්මක කළ බවත්, ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවසුවා.

නීතිඥවරිය යලි විමසා සිටියේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් තිබුණේ නම් ඒ පිළිබඳ සටහනක් නොතැබුවේ ඇයිද යන්නයි.

ස්ථානාධිපතිවරයා එහිදී හැඟීම්බර වෙමින් කොමිසම ඉදිරියේ රැඳී සිටි සිය උසස් නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා දෙසට හැරී සමාවෙන්න සංජීව සර් ඔබ මේ විදියට කටයුතු කරනවා කියා දන්නවානම් මා මේ පිළීබඳ සියලු සටහන් තබා ගන්නා බවත්, දුරකථන ඇමතුම් පටිගත කරගන්නා බවත්, ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමට ගොස් තමාට දැන් අංගුලිමාලට සිදුවූ දේ වී ඇති බවත් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා කළ දේ වැරදි බවත්, තමන් යටතේ සිටිනා නිලධාරීන් කිසිවකුත් මේ අකාරයෙන් අමාරුවේ දැමීමට තමා කටයුතු කර නොමැති බවයි.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා අනතුරුව සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට කැඳවා තිබුණා.

ඔහුටද ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවුඩය ප්‍රහාරය සිදුවූ දිනයේ ලැබී තිබූ අතර එම පණිවුඩයේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

නීතිඥවරිය ඔහුගෙන් විමසා සිටියේ ඔබට සිදුවූ බලපෑම් පිළිබඳව පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැනි ඉහළ නිලධාරීන් දැනුවත් නොකළේ ඇයිද යන්නයි.

ඉහළ නිලධාරීන්ට එවැන්නක් පවසනවානම් දින වෙන්කර ගැනීමක් කළ යුතු බවත්, එසේ පැවසීමට යාමේදීම ඒ පිළිබඳ තොරතුර ප්‍රචාරය වී අවසන් වන බවත්, ඒ අනුව තමාට වෙන්න අවශ්‍ය දේ වී අවසන් වන බවත් ස්ථානාධිපතිවරයා කොමිසම ඉදිරියේ සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිස් දෙපාර්තමේන්තුව යනු නිලධාරීවාදය හොඳින්ම ක්‍රියාත්මක වන තැනක් බවයි.

මේ අතර ඊයේ දිනයේදී ජනාධිපිත විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අදහස් පළ කළා.

මේ අතර, ඊයේ දිනයේදී ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂී ලබාදුන් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කොමිසම හමුවේ සිදුකළ බවට මාධ්‍ය වාර්තාකල ප්‍රකාශ දෙකක් සංශෝධනය විය යුතු බව මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඊබ්‍රාහිම් පවුල සමීප සබඳතා පැවැතුවූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නොව රිෂාඩ් බදියුදීන් මහතා ලෙස නිවැරදි විය යුතු බවයි.

ඊට අමරතව, එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජමෙයිතුල් උලමා සංවිධානය පියවර 4ක් ඔස්සේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට සැලසුම් සකසා තිබූ බවට පළවූ මාධ්‍ය වාර්තාවල ශ්‍රී ලංකාව පියවර 4කින් මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයින් පසුව ජමෙයිතුල් උලමා සංවිධානයටද ඇතුළත් වී සිටි බවට නිවැරදි විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress