රවී , මහේන්ද්‍රන් සහ ඇලෝසියස් ඇතුළු 10දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (වීඩියෝ)
Posted on March 6th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.

මෙම නඩුවේ පළමු සැකකරුවෙකු ලෙස නම් කර ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.

එමෙන්ම, නඩුවේ 10 වන සැකකරු ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරත් චන්ද්‍රට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔහුට වරෙන්තු හෝ සිතාසි නිකුත් කිරීමක් සිදුවූයේ නැහැ.

කෙසේ වෙතත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 10 දෙනාට වරෙන්තු නිකුත් කිරීමේදී නීතිපතිවරයා විසින් ගොනුකළ පැමිණිල්ලේ කරුණු වලට අනුව නඩුකරයක් පවත්වාගෙන යාමට තරම්, සාක්ෂි පවතින බවට අධිකරණය තීන්දු කළා.

ඒ අනුව, සක්‍රිය ලෙස පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයුතු ලාභයක් ලබාදීම සඳහා සැකකරුවන් බැඳුම්කර වෙන්දේසියේදී කටයුතු කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දෙදින තුල සිදුවූ බව කියන බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුලූ 11 දෙනෙකු වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව, මීට පෙර සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා. මේ අතර, අද උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දරට මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්ණාවලියක් ලබාදුන්නේ අධිකරණයට කරුණු කිහිපයක් තහවුරු කරගැනීමට අවශ්‍ය බව පවසමින්.

ඒ අනුව, එම ප්‍රශ්ණාවලියට පස්වරුවේ ලිඛිතව පිලිතුරු සපයන ලෙස කොටුව – මහේස්ත්‍රාත් රංග දිසානායක නීතිපතිවරයාට නියෝග කලා.

පිළිතුරු අධිකරණයට ඉදිරිපත් කල පසුවයි බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුලූ 10 දෙනෙකුට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress