කාර්ය මණ්ඩලවලට අයශ්‍ය සම්මත පුද්ගල ආරක්‍ෂක උපකරණ
Posted on April 4th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය. 

2020. 04. 04

පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමිය,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.

මහත්මියණි,

කොරෝනා මර්ධන කටයුතුවල නියුතු සෞඛ්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට අයශ්‍ය සම්මත පුද්ගල ආරක්‍ෂක උපකරණ (standerd Personal protective equipments) අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

ලොව පුරා සීග‍්‍රයෙන් පැතිරීයන කොරෝනා වෛරසය මේ වන විට ශ‍්‍රී ලංකාවටද දැඩි බලපෑමක් එල්ල කර ඇති මේ අතිශය තීරණාත්මක මොහොතේ උක්ත කාර්ය පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

කොරෝනා මර්ධන ක‍්‍රියාවලියේදී රෝගය ආසාධිත පුද්ගලයින්, ආසාධිත යැයි සැකකරන පුද්ගලයින් සහ නිරෝධානයට ලක්කරන පුද්ගලයින් සමග ඍජුව කටයුතු කරන සෞඛ්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට දැඩි අවධානම් තත්වයක් යටතේ සේවය කිරීමට සිදුව තිබේ.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුද්ගල ආරක්‍ෂක උපකරණ භාවිතය සම්බන්ධව නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා ඊට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව කටයුතු කිරීමට සෞඛ්‍ය/සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලවලට සිදුවේ. එසේ වුවද දැනට ඒ සඳහා භාවිතයට ගත යුතු සම්මත තත්වයේ පුද්ගල ආරක්‍ෂක උපකරණ ප‍්‍රමාණවත් පරිදි අඛණ්ඩව සැපයීමක් සිදු නොවන බව අප සංගමයට තොරතුරු ලැබෙමින් පවතී. දැනට භාවිතා කරනු ලබන විවිධ ක‍්‍රම මගින් ලැබෙන උපකරණවල ගුණාත්මක තත්වය පිළිබඳව සහතික වීමක්ද නැත.

මෙම තත්වය මගින් එම කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ගේ ජීවිතවලට දැඩි අනාරක්‍ෂිත තත්වයක් ඇති විය හැකිය.

එවැනි තත්වයක් වළක්වා ගැනීම සඳහා ඉදිරි කාලය තුලදී මෙම උපකරණ අඛණ්ඩව සැපයීම සිදු කළ යුතුව ඇති බැවින් එම උපකරණවල තිබෙන හිගය මගහරවා ගැනීම සඳහා කටයුතු කළ යුතුය. ඊට අමතරව එම උපකරණ සම්මත තත්වයට අනුකූලව අප රටතුලද ප‍්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා තාක්‍ෂණ දැනුම සහිත තාක්‍ෂණ කමිටුවක් පත් කළ යුතුය. දැනට අප රටේ තිබෙන ඇඟලූම් හා වෙනත් කර්මාන්ත කිහිපයක් භාවිතා කර මෙම උපකරණවල අවශ්‍යතාවය පැන නගින ආකාරය අනුව නිෂ්පාදනය කිරීමට හැකි පරිදි නිෂ්පාදන ධාරිතාවක් පවත්වා ගත යුතුය.

ඉහත සඳහන් පරිදි සෞඛ්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩලවල ජීවිත ආරක්‍ෂාව තහවුරු කරමින් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට සම්මත තත්වයෙන් යුතු පුද්ගල ආරක්‍ෂක උපකරණ එම කාර්යය මණ්ඩලවල සියලූ දෙනාට අඛණ්ඩව සැපයීම සහතික කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

පිටපත් –
1. සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,
2. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් අනිල් ජාසිංහ මැතිතුමා
3. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂ කපිල වික‍්‍රමරත්න මහතා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress