අධ්‍යාපනය සම්බන්ධව ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීම සම්බන්ධවයි.
Posted on April 15th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි ලංකා ගුරු සේවා සංගමය

අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

අධ්‍යාපනය සම්බන්ධව ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීම සම්බන්ධවයි.


ඔබතුමාගේ නියමය පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යස්ථාවේ පැවරී ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් අංක 2169/2 හා 2020. 03.31 දිනැතිව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනාධිපති කාර්ය සාධන බලකායක් පත්කර ඇත. එමගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික, ද්විතීයික හා තෘතියික අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිතවන සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාවයත්, මේ වනවිට උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කිසිදු අයුරකින් පසුබෑමකට ලක්නොවී අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ ක‍්‍රමවේදයන් යොදා ගැනීමේ අවශ්‍යතාවත් අවධානයට ලක් කරමින්, සාමාජිකයින් 26 දෙනෙකු ඊට ඇතුළත් කර ඔවුන්ට බලතල පවරා ඇත. මෙම කාර්යසාධන බලකාය සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

02. මෙම කාර්ය සාධන බලකායෙහි සාමාජිකයින් 26 දෙනා පත්කිරීමේදී විශේෂයෙන් අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි ලා කටයුතු කරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට අවස්ථාවක් ලබාදී නැත. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ බලපැවැත්වෙන ජාතික අධ්‍යාපන ආයතනය හා විභාග දෙපාර්තමේන්තුව මෙන්ම මෙහි විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන වෘත්තීය සමිති යන ආයතනද මින් බැහැර කර පෞද්ගලික පාසල් හා අර්ධ රාජ්‍ය පාසල් හිමිකරුවන්ට මුල් තැනක් ලබා දී තිබීම මෙහි කාර්ය සාධනය හා අරමුණු කෙරෙහි අනිසි බලපෑම් එල්ල වීම වැලැක්විය නොහැකි වනු ඇති බව දැඩිව අවධාරණය කරමු.

03. තවද මෙහිදී විශේෂයෙන් මෙරට අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලියේ දී සෘජු වගකීම් දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙහි සාමාජිකයෙකු නොවීමත් ගේට්වේ පාසල් සමූහයේ ව්‍යාපාරිකයෙක් හා අර්ධ රාජ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් දෙදෙනෙක් සාමාජිකයින් වීමත් තුළ වර්තමාන ආණ්ඩුවේ ම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කවර දිශානතියක් ගන්නේද යන්න මැනවින් පිළිබිඹු කරන්නකි.

04. එමෙන්ම මෙම පත් කිරීම් හා බලතල පැවරීම තුළ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙන්ම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ බලපැවැත්වෙන රාජ්‍ය යාන්ත‍්‍රණය තුළට සෘජුවම අතපෙවීමට මෙම පිටස්තර ව්‍යාපාරිකයින්ට අවස්ථාව උදාකර දී ඇත. එහිදී මෙම අමාත්‍යංශය සතු බොහොමයක් දත්ත ඔවුන්ගේ අතට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. එමගින් මෙරට සිසු දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතීන්ට බරපතළ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීම වැලැක්විය නොහැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

05. තවද මෙම කොරෝනා වසංගතය හමුවේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපන අයිතීන් වල බොහෝ වටිනාකම් රටත් ජනතාවත් ඉදිරියේ වඩවඩාත් දැනෙමින් හා තහවුරුවෙමින් පවතින අවස්ථාවකි. පසුගිය දශක ගණනාව තුළ මෙම අයිතිවාසිකම් බරපතළ ලෙස සංවාදයට ලක්ව ඇත. නමුත් මහ මැතිවරණයක් අභියස මෙරට අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණයක් සඳහා කාර්ය සාධන බලකායක් කඩිමුඩියේ මෙසේ පත්කිරීම මවිතයට කරුණකි.

එහෙයින් ඔබගේ බලතල ප‍්‍රකාරව විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය හා විශ්වාසය මත පත්කළ බව සඳහන් මෙම කාර්ය සාධන බලකාය අවලංගුකර ඍජුව ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇති නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කර එය වඩාහිඳුවීමට සමත් ආයතනික නියෝජනයක් සහිත වගකීම්සහගත පාර්ශවයන්ගෙන් සැදුම්ලත් නව කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් මිට එරෙහිව ලංකා ගුරු සේවා සංගමයට සෙසු වෘත්තීය සමිති සහ වෙනත් සිවිල් සංවිධාන ඒකාබද්ධව ඉදිරි ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

පිටපත්
ලේකම් – උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය
ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය
ලේකම් – නිපුනතා සංවර්ධන, රැුකීරක්‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress