කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?
Posted on April 25th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.Ð.

කොරෝනාතන්ත්‍රවාදය

ඒබ්‍රහම් සුමන්තිරන්-මනෝ ගනේෂන් යන දෙන්නා ඉස්සරහට දමා උසාවිය මඟින් ලෝකයේ ප්‍රථම වරට අළුත් කොරෝනාතන්ත්‍රවාදයක් කෘතිමව නිෂ්පාදනය කොට ඒ හරහා 2015-19 යහපාලන සෙල්ලමට ආපසු යෑමට සජිත්, චම්පික, රාජිතලාගේ විපක්‍ෂය (හා මර්වින් සිල්වා පවා) ගෙන යන කූඨ ප්‍රයත්නය දැන් එහි රෙදි ගලවාගෙනම එලියට පැමිණ තිබේ. මෙහි පහතින් දැක්‌වෙන්නේ මේ කොරෝනාතන්ත්‍රවාදයේ රෝග ලක්‍ෂණ වල ප්‍රවෘති එකතුවකි. ඉන් ඉතාම නින්‌දිත රෝග ලක්‍ෂණය පෙන්වන්නේ සුපුරුදු පරිදි රාජිතමය. වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිට අප්‍රියෙල් 23 යැවූ ලිපියකින් රාජිතගේ කුමණ්ත්‍රනය අනාවරණය විය. මාධ්‍ය සාකච්චාවක් කැඳවා කොරෝනා ටෙස්ට් ප්‍රමාදකරනවා යයි රජයට දොස් පැවරූ රාජිත, එම ප්‍රමාදවලට ඍජුවම හේතුපාදක වූ නිලධාරින් තිදෙනෙකුට පක්‍ෂව කතාකලේය. මේ තිදෙනා නම් කරුණාතිලක, බෙල්ලන හා බෝවන රෝග අංශයේ ප්‍රධානියා වන සමරවීරය. මොවුන් මාර්තු 31 සිට අප්‍රියෙල් 19 දක්වා සති තුනක්ම මේ ප්‍රමාදය කලේ වෛද්‍ය සංගමය දුන් නිර්දේශ නොසළකා හරිමින්‌ය. මෙය රාජිතගේ කලින් කිඹුල් කතාවට සමානය. මොවුන් රාජිතගේ ඔත්තුකරුවන් වියහැකි නැද්ද? මොවුන්ට ඕනෑ කලේ කොරෝනාව වැඩි කරන්නද? රාජිත මඩ ගසන්නේ සමස්ත කොරෝනා මර්‌ධන ක්‍රියාදාමයටය. එහි යම් දුර්‍වලකම් ඇති බව සැබෑය. පාලිත තේවරප්පෙරුම විසින් පෙන්‌වා දෙන අයුරු දේශපාලකයින්ගෙන් තොරව නිලධාරීන්ට රජයේ දීමනාව දීමේ ලැයිස්තු සැදීමට ඉඩ දිය යුතුව තිබුණි. එහෙත් තමන්ට ප්‍රතිකාර සඳහා මහජන ටැක්ස් මුදලින් සිංගප්පූරු පණින මේ පරණ සුවපතිගේ වගකීම වංක ලෙස මහජනයාගේ හිත දුෂ්‍ය කිරීමද?

කොරෝනාතන්ත්‍රවාදයේ රෝග ලක්‍ෂණ

  1. ලංකාවේ කොරෝනා අඩුවූයේ ඝර්‌ම කලාපයේ රටක් නිසාය- බිමාල් රත්නායක
  2. නිරෝධායනයෙන් කොරෝනාව මර්‌ධනය කරන්න බෑ, යුද හමුදාවට මේක කරන්න බෑ- රාජිත
  3. ජනාධිපතිට විරුද්‌ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉඩ තිබේ- මනුෂ නානායක්කාර
  4. පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව අවලංගුයි, පැවති පාර්ලිමේන්තුව කැඳවන්න, කිරි‌ඇ‌ල්ලේ, කරු ජයසූරියට දන්වයි.
  5. චන්දය කල් දැමූනිසා, පරණ පාර්ලිමේන්තුව ඉබේටම සක්‍රිය වනවා-අකිල විරාජ් කාරියවසම්
  6. පාර්ලිමේන්තුව රැස්කල සැණින් විශ්වාසභංගයක්-
  7. 5,000 මදි, අඩු ගණනේ පවුලකට 20,000 ක් වත් දෙන්න- ජේ‌වී‌පී
  8. පරිප්පු සඟවන වෙළඳුන්ට මාස හයක සිරදඬුවම්-
  9. පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් අපි සමානවන්නේ ඉතියෝපියාවට- රාජිත
  10. ලෝක වෙළඳපොලේ මිල පහත ගිය නිසා දැන් තෙල් මිල අඩුකරන්න-චම්පික, හර්‌ෂ ද සිල්වා
  11. කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමඟි ජන බලවේගයේ ඉන්නවා- සුජීව සේරසිංහ
  12. මැ.කො. සාමාජික හූල් ගේ හැසිරීම සවුත්තුයි- සුගත් හේවාපතිරණ, දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්
  13. පාර්ලිමේන්තුවක් නැතිව කොරෝනා වසංගතයට මුහුණ දෙන ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට ශ්‍රී ලංකාවයි- හිටපු කතානායක කරු ජයසූරිය (හීතල හොරෙක්?)

මෙම රෝග ලක්‍ෂණ වලින් පෙනී යන්නේ, රටේ සිංහල බෞද්‌ධ බලවේගය විසින් ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවලට එරෙහිව 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාව (ඉතාමත් සුළු වැඩි චන්ද සංඛ්‍යාවකින්) දිණවූ අවස්ථාවේ සිට එම ජාතික බලවේගය යටපත්කිරීමට ක්‍රියාකර අන්තිමේදී, 2015 දී බලය අල්ලාගත් ජාතිද්‍රෝහී පිරිස, විෂ්මය ජනක ලෙස, 2019 දී ඔවුන්ට නැතිව ගිය <යහපාලන> බලය නැවත මොන අන්දමකින් හෝ ලබාගැනීම සඳහා ඇති පෙරේතකමට කොරෝනාව නමැති දොලපිදේනිය දිමට වලිකෑමේ උණකින් පෙලෙන බවය! කෙහෙල්මල් නීතියේ ආධිපත්‍යය හා බොරු තන්ත්‍රවාදය කොරෝනාව නමැති රෙද්දෙන් වසා ගන්නට හැදුවත් එය නග්න උත්සාහයක් බව ඉහත අංක 13 හොඳින් කියවන කළුසුද්දෙක් නොවන අයෙකුට ප්‍රත්‍යක්‍ෂ වන්නේමය.

රෝගයේ ඉතිහාසය

  1. මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ මිථ්‍යාව (2009 පෙර)
  2. යුද අපරාධ චෝදනාව (2009 ට පසු සිට 2020, 21, 22……?)
  3. සරත් ෆොන්සේකාගේ රාජයෝග මිථ්‍යාව හා රොබට් බ්ලේක්ගේ දිරච්ච ලණුව (2010 චන්දය)
  4. මහින්ද රාජපක්‍ෂ පාලනය බලයෙන් අන්දවීම නිසා සතුරාට හිල් පාදා දීම
  5. මිචෙල් සිසන්ලා, රනිල්, චන්ද්‍රිකා, මංගලලා, සෝභිත හාමුදුරුවන් රවටා සිංහල බෞද්‌ධ චන්ද කඩා ගැනීම (2015)
  6. මෛත්‍රීපාල සිරිසේනට රැවටී 19 සංශොධනයට පක්‍ෂවීම (රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර හැර)
  7. යහපාලනය අවපාලනයක් වීමත් සමඟ පක්‍ෂ දේශපාලන මඩ වඟුරෙන් ගෝඨාභය මතුවීම
  8. ගෝඨාභය කරලියට ඒම වැලැක්‌වීමට ගත් විවිධ උත්සාහ (හිට්ලර් කෙනෙක්‌වෙයි යන භීතියක් මැවීම, මිග් ප්‍රශ්ණය, ලසන්ත වික්‍රමතුංග ප්‍රශ්ණය, යුද අපරාධ, ඇවන්ට් ගාඩ් හා පුරවැසි ප්‍රශ්ණය (ගාමිනී වියන්ගොඩ කුමන්ත්‍රණය) මඟින් අපේක්‍ෂකධූරය බකල් කිරීමේ අන්තිම සටන නොහොත් නූතන මාර යුද්‌ධය
  9. හාමුදුරුවරු මැදිහත්‌ව, සුළු ජාතික චන්ද නැතිව දිණන්න බෑ යන මිථ්‍යාව ශුන්‍ය කිරීම
  10. ජනාධිපතිට අධොමුඛයෙන් නොදැනම වාතයක් ගියත් එහි ඒකාධිපතිවාදී ගඳක්, ශබ්දයක් දැනීම හෝ ඇසීයාම!
  11. කොරෝනාව මිලිටරි විනයකින් මැඩලීමේ උත්සාහය, නීතියේ ආධිපත්‍ය කතාවක් හරහා උසාවිය මඟින් කඩාකප්පල් කිරීමේ ප්ලෑන (නීතිය හැදූ ජේ.ආර්ලා, ප්‍රේමදාසලා, සුමන්තිරලා, ජයම්පතිලා දෙවිවරුන්ද?)

ගඳ ගැසූ පාර්ලිමේන්තුව

යහපාලනකාරයින්ට එල්ලීමට ඉතිරිව ඇති එකම පිඳුරුගහ නම්, මහජනයා විසින් ජනාධිපති චන්දය මඟින් ව්‍යංගයෙන් එලවා දමන ලද හොරු 225 ට (කීප දෙනෙක් හැර), උසාවිය මඟින් පිටිපස දොර අරවා ගෙන, ආපසු දියවන්නා හෝටලයට ඇතුළු වී කුණු හරුප කියමින්, නොමිලේ කා බී නිදා ගැනීමය. නැතිවී ගිය රක්‍ෂාව (රන් ආකරය) නැවත ලබා ගැනීමය. මොවුන්ට රට වෙනුවෙන් නීති පණවන්නට, දැණීමක්, දැකීමක් තිබෙනවාද, තිබුණාද? මෙම <ආශ්චර්යය> සිදුවීමට හොඳටම ඉඩකඩ ඇති බව පෙන්‌වාදීම මේ ලිපියෙන් කරණ අනතුරු ඇඟවීමය. මීට හේතුව, බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව මෙන්, කබර ගොයා තලගොයා කිරීමේ න්‍යාය බටහිර නීති විද්‍යාවේ මූලික පදනමක් වීමය. මෙය පෙන්වා දීම උසාවියට අපහාස කිරීමක් නොවේ. මේ සඳහා හොඳ හෝ නරක නඩුකාරයින්ට උපකාරවන අහිංසක නීතිවිද්‍යා (ජුරිස්ප්‍ර‌ැඩන්ස්) සංකල්පය නම් රීසනබල්නස් ඩොක්ට්‍රින් යන්නය. අවස්ථාව, කාලය, ස්ථානය, ඉතිහාසය, භූගෝල විද්‍යව, අවශ්‍යතාවය, රටක පැවැත්ම යනාදී නොයෙක් කාරණා සළකා බලා හැකිතාක් දුරට සර්‌ව සාධාරණ නිගමන වලට ඒමය. පොතේ ඇති නීතිය විග්‍රහ කිරීමය (ඉන්ටර්ප්‍රිට්). ප්‍රශ්ණය නම් නඩුකාරයින් කියන්නේද, කළු ලෝගුවක් දමා ගත් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ වීමය. ඓතිහාසිකව නම් ඒ ලෝගුවේ පිටපැත්තේ තිබෙන පොකට් එකට හේතුව නම් යම් සේවා දායකයෙකුට, නීතීඥයාට නොපෙනී, ඊට සල්ලිකාසි දැමීමටය! එහෙත් දැන් නම් උසාවියට ගියොත් දිණුවත් පරාදවී, දිණවන්නේ නීතීඥ වෘත්තියය.

පොතේ නීතිය හා ප්‍රායෝගික නීතිය (ලෝ-ඉන්-බුක් ඇන්ඩ් ලෝ-ඉන්-ඇක්‍ෂන්)

ඈල්ගෝර්-බුෂ් ජනාධිපති තරඟයේදී, 2000 වර්‍ෂයේදී, ඇමෙරිකන් සුප්‍රීම් උසාවිය බුෂ්ට පක්‍ෂව දුන් තීරණය දැඩි විවේචනයට ලක්‌විය. ඇල්ගෝර් කිව්වේ, අයි විල් ඇක්‍ෂෙප්ට්, බට් අයි විල් නොට් අග්‍රී යනුවෙනි! මෙම තීරණය දීමට මූලිකවූ ඇන්ටොනින් ස්කූලියා පසු කලෙක කියා සිටියේ එම තීරණය වැරදි බවත්, එසේ එවැනි තීරණයක් දුන්නේ රටේ යහපත සළකා, රටේ දේශපාලන අර්බුදයක් ඇතිවීම වැළැක්‌වීමට බව‌ත්‌ය. මෙය නීතියේ කාර්යක්‍ෂමතාව (එෆිකසි ඔෆ් ලෝ) පිළිඹඳ ප්‍රශ්ණයක් මිස, ලංකාවේ සුප්‍රිම් උසාවිය, ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරවූ අවස්ථාවේ දුන් තීරණය වැන්නක් නොවේ. ඉන්දියාවේ තීන්දු, පුස්කෑ නීති පොත් වල වාක්‍ය යනාදිය භාවිතා කරමින් උසාවිය කබරගොයා, තලගොයා කලේය.

එම නඩුවේ පැහැදිලිවම පෙනීගිය කරුණක් නම් සුමන්තිරන්-ජයම්පති වික්‍රමරත්න යනාදීන් විසින්, පාර්ලිමේන්තුවේ ගොන් රැළ නිදි කිරණ මහරෑ, සුප්‍රිම් උසාවියද රවටා 19 සංශොධනය පාස්කරගත් බවය. බලතල බෙදීම කියන න්‍යාය යටතේ සිතුවත්, පාර්ලිමේන්තුවට ජනමත විචාරණයකින් තොරව සිය ධූර කාලය පිළිඹඳව වෙනසක් කල නොහැකිය. යම් පාර්ලිමේන්තුවක් පිස්සන් කොටුවක් නම් එය පාලනය කරන්නේ කවුද? මේ ගැන දෙවතාවක්ම උසාවිය ඊට කලින් කියා තිබියදීත්, උසාවිය රවටන්නට, 70(1) වන වගන්තියට අමතරව අළුතෙන් 33 (2) (සී) වගන්තියක් ඇතුලත් කරණ ලදී. මේ වගන්තිය දැමීමට හේතුව වශයෙන් උසාවිය දුන් තීරණය ලැජ්ජා සහගතය. උසාවියේ නිදහසට කරුණ වූයේ පාර්ලිමේන්තුව පැණවූ නීතියක හරි වැරදි බලන්නට තමන්ට නීතිමය බලයක් නැතිය කියාය. උසාවිය, මෙම ක්‍රියාව මඟින් ලංකාවට කල හානිය සුළු පටු නොවේ. නීතියේ ආධිපත්‍යය කියන්නේ කෙස් පැලෙන තර්‌ක වලට නොවේ. (මේ සම්බන්‌ධයෙන් මීට පෙර ලියූ ලිපියක ලින්ක් එක: GIGO: garbage in – garbage out = 19th Amendment.
http://www.lankaweb.com/news/items/2018/11/30/gigo-garbage-in-a-garbage-out-a-19th-amendment/ )

අවුරුදු හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනාධිපතිට බලයක් නැතැයි 2018 දෙසැම්බර් වල දුන් තීන්දුව මෙන්, ජූනි 2 කට පෙර අළුත් පාර්ලිමේන්තුව කැඳවන්නට නොහැකිනම් පරණ පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපති නිකුත්කල ගැෂට් නියෝගය අහෝසිවී යනවා යන තර්‌කය විහිළුවක් සේ බැලූ බැල්මට පෙණුනත්, සුප්‍රීම් උසාවියට එය ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර අවස්ථාවක් සේ පෙනෙන්නට හොඳටම ඉඩකඩ ඇත. මීට හේතුව 2009 ප්‍රභාකරණ් විනාශයේ සිටම ඇමෙරිකාවේ අවශ්‍යතාවය වූයේ 13 සංශොධනය හරහා ලංකාව දෙකට කැඩීම වීමය. මේ සඳහා ඩොලර් වලට කල හැකි හැමදේම ලංකාවේ ඔවුන් කරන්නේ, ලෝකයේ වෙන රටවලද මේවා කරන්නේ යුද හමුදා නිලධාරීන්, නඩුකාරයින් හරහා වීමය. ලංකාවේ අධිකරණ ක්‍රමයට, නීති සංගමයට, මුදල් ආධාර දීම, නඩුකාරයින් සමඟ තානාපති නිලධාරීන් සාකච්චා පැවැත්‌වීම, රංජන් රාමනායකලා භාවිතා කිරීම, තානාපතිලා නඩුකාරයින්ට කිසි බයක්, චකිතයක් නැතිව නඩු ගැන උපදෙස් දෙමින් ලියුම් යැවීම, සුප්‍රිම් උසාවි නඩුකාරයින්ට විරුද්‌ධව නාගානන්ද කොඩිතුවක්කුගේ නඩු, සමහර නඩුකාරයින් ක්‍රිස්තියානී මූලධ‌ර්‍ම වාදීන් යන සැකය, බොදු බල සේනා ඥානසාර හිමියන්ගේ නඩුවේදී ඇපැල් උසාවිය හා සුප්‍රිම් උසාවිය නීති විරෝධී ලෙස ක්‍රියාකිරීම යන මේ තොරතුරු ඉදිරියේ, ලෝක මට්ටමෙන් සිතන විට සුමන්තිරන්-මනෝ ගනේෂන් තර්‌කය දිණන්නට හොඳටම ඉඩ ඇත. ඉන් රටේ ජනයාට මුහුණ දෙන්නට වන දුක ගැන සිතන ජාත්‍යාලය ඇති ඇන්ටොනින් ස්කූලා ලංකාවේ ඉන්නවාද?

2018 සිරිසේන ජනාධිපතිට විරුද්‌ධව දුන් තීන්‌දුවේදී මුළු ලංකා විරෝධී බටහිර ලෝකය හා අල්ජසීරා, බීබීසී, සී.එන්.එන්, නිව්‌යෝර්ක් ටයිම්ස් යන ආයතන උදම් ඇණූ ආකාරය ගැන සිතන විට ප්‍රජා-තන්ත්‍ර-වාදය (නාස්ලණුවාදය), නීතියේ ආධිපත්‍යය යනු සුරංගනා කතා බව පෙනේ. මේ යුද්‌ධය නම් දිණන්න බෑ කියූ කළු සුද්දන් පිරිස රනිල් ආපසු අගමැතිවීම සැළකුවේ ප්‍රභාකරන් ආපසු අරලියගහ මන්දිරයට ආවා සේය. මේ පිරිස සිතන්නේ ගෝඨාභය දමණය සුප්‍රිම් උසාවියේ ප්‍රාණ 7 ක් 9 ක් හරහා ලබාගත හැකිය කියාය. කොරෝනාවෙන් රට ඉගෙන ගනිමින් ඉන්නා පාඩම නම් මේ සමස්ත ක්‍රමයම අතුගා නොදමා රටට ගැලවීමක් නැතිය යනුය. පන්සල හා යුද හමුදාව එක්ව ගම් මට්ටමින් රට සෝදා පිරිසිදු කල යුතුය යන්න යටපත් කල නොහැකි ආදර්‍ශ පාඨයක් වෙමින් පවතී. ලක්‍ෂ 69 ක තීරණය (මුන් 225 ම එපා), උසාවියක දුසිමකට අවලංගු කල හැකිද? ගෝඨාභය ඉඩම් නඩුවක විත්තිකරුවෙක් නොවේ. ඔහු ලක්‍ෂ 69 යේ පැතුම් හා හඬය. කිසිසේත් පරණ 225 යළි කැඳවන්නේ නෑ කියන්නේ ගෝඨාභය මේ ආයතනය සතුරෙක් ලෙස සළකන නිසා නොව රටේ ජනයා එසේ සිතූ/සිතන නිසාය.

2 Responses to “කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?”

  1. Gunasinghe Says:

    If Rajitha was the health minister he would have expired PCR reagents and sell them black market and would have made millions. Now this bastard talk like patriotic citizen. He should be in jail for his crimes.

  2. Gunasinghe Says:

    f Rajitha was the health minister he would have imported expired PCR reagents and sell them black market and would have made millions. Now this bastard talk like patriotic citizen. He should be in jail for his crimes.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress