ප‍්‍රසිද්ධ නිවාඩු දින හා කාර්ය වියුක්ත නිවාඩු දින සේවය
Posted on May 2nd, 2020

සමස්ත ලංකා හෙද සංගමය.

භද්‍රාණී ජයවර්ධණ මහත්මිය
ලේකම්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය,
සුවසිරිපාය,
අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත
කොළඹ 10.

මහත්මියනි,

#
කොවිඩ්19 #Coved- 19 වසංගතය හමුවේ සේවා සපයන හෙද කාර්ය මණ්ඩලයේ අමතර සේවා, ප‍්‍රසිද්ධ නිවාඩු දින හා කාර්ය වියුක්ත නිවාඩු දින සේවය සදහා මුදල් ගෙවීම

#කොවිඩ්- 19 #Coved- 19 වසංගතය මැඩලීම හමුවේ අසීරු ලෙස සේවා සැපයූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයේ යෙදවීමේ දී මතුවී තිබු ගැටළු විසදාගැනීමටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂා කර ගනිමින්, ඔවුන් අනතුරු දායක ලෙස #කොවිඩ් ආසාදිත රෝගීන්ට නිරාවරනය වීම වලකා රෝහල් පද්ධතියට ප‍්‍රසස්ත සේවාවක් ලබා ගැනීම අරමුණු කර ඔබ විසින් අවස්ථා කීපයකදී නිකුත් කරන ලද උපදෙස් ලිපි පිළිබද අවධානය යොමු කරවමු.

ඔබගේ එම උපදෙස්වලට අනුකූලව රෝහල්වල සේවා සැකසුම් කර ගැනීමට යෑමේදී සමහර රෝහල් ප‍්‍රධානීන් සමග දැඩි අරගලයක් කිරීමට සිදුවූ බවත් කණගාටුවෙන් වූවද සදහන් කරමු. එසේම අද වන විට හෙද කාර්ය මණ්ඩලයේ මාර්තු සහ අප‍්‍රියෙල් මාසවල සිදුකරන ලද රාජකාරීන්ට අදාලව යොමුකර ඇති අමතර සේවා ඉල්ලූම්පත් වල ගෙවීම් අනුමත කිරීමේදී බොහෝ ආයතන වල ප‍්‍රධානීන්/ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ඔබගේ උපදෙස් නොසලකා තම තමන්ට රුචි ආකාරයට හෙද නිලධාරීන්ගේ #කොවිඩ් වසංගතයට අදාලව ඉටු කල රාජකාරීවලට ගෙවීම් කිරීමට උපදෙස් ලබා දෙන අතර එම උපදෙස් බොහෝ විට හෙද කාර්ය මණ්ඩලයට දැඩි ආර්ථික අවාසි ගෙන දෙන බැවින් හෙද නිලධාරීන් දැඩි කනස්සල්ලට හා අසරණභාවයට පත්ව සිටී.

01. 2020. 04. 12 දිනැතිව ඔබතුමිය සියළු රෝහල් ප‍්‍රධානීන් වෙත යොමුකර තිබෙන උපදෙස් ලිපියට අනුව වසංගතයට මුහුණ දීම සදහා රජය විසින් සකසන ලද විශේෂ සේවා මුර වැඩපිළිවෙලට අනුව හෙද හෙදියන් සක‍්‍රිය සේවයේ නොයෙදුනද ඔවුන් රාජකාරියේ යෙදුනා යැයි සලකා කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අදාල කාලපරිච්ඡෙදය තුල රාජකාරී කල හෙද නිලධාරීන් ඔවුන්ට හිමි කාර්ය වියුක්ත දින සහ ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන්ද (Day Off & PH) ඉහත උපදෙස්වලින් දක්වා ඇති පරිදි සේවය කර තිබේ. එසේ වූවද ඔවුන්ට එම රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ගෙවිය යුතු දීමනා කප්පාදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් තිබෙන බැවින් එය වැලැක්වීම සදහා ඔබගේ 2020. 04. 12 ලිපියේ අංක 02 ජේදයේ සදහන් පරිදි සක‍්‍රීය සේවයේ යෙදුනේ හෝ නොයෙදුනේ වූවද අදාල මාසය සදහා වන කාර්ය වියුක්ත නිවාඩු දින සහ ප‍්‍රසිද්ධ නිවාඩු දින සියළුල වෙනුවෙන් හිමි දීමනා සියල්ල ගෙවීමට කටයුතු කරන ලෙස ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලමු.

02. #කොවිඩ්- 19 #Coved- 19 වසංගතය පාලනය සදහා 2020. 03. 20 දින ඇදිරි නීතිය ක්‍රියාතමක කල මොහොතේ පටන් අද වනතුරුත් සාමාන්‍ය මගී ප‍්‍රවාහන සේවා නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන තත්වයක් තුලද බොහෝ හෙද නිලධාරීන් තම පුද්ගලීක වාහනවලින් හෝ කුලී රියකින් සේවයට වාර්තා කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කලහ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ප‍්‍රවාහන සේවා පසුකාලීනව ආරම්භ කලද ඒවා ප‍්‍රමාණවත් නොවන අතර බස් රථ ප‍්‍රධාන මාර්ගවල පමනක් ධාවනය විය. එබැවින් සෑම හෙද නිලධාරියෙකුටම රාජකාරියට වාර්තා කිරීම සදහා අමතර පිරිවැයක් දැරීමට සිදුවිය.

එසේම තමාගේ සහ නිවැසියන්ගේ ආරක්ෂාව පිළිබදව කටයුතු කල යුතු හෙයින් තම නිල ඇදුම් හා අනෙකුත් ඇදුම් පැලදුම් සියල්ල දිනපතා සෝදා ගැනීමටත්, විශේෂයෙන් කොරෝනා ආසාදිත හා සැක කටයුතු රෝගීන්ගේ සාත්තුවේදී PPE ඇගලා සේවය කිරීමේදී එක් සේවා මුරයකදී දෙවතාවක් නිල ඇදුම් මාරු කිරීමටත් (දහදියෙන් තෙත්ව යන නිසා) සිදුවන බැවින් ඒ සදහා අමතර පිරිවැයක් දරන්නට සිදුවේ. එමෙන්ම සේවා නිමවී පැමිණි පසු තම අසල්වැසියන් මෙන්ම තමාගේ නිවැසියන්ද කිසියම් දුරස් බවකින් හැසිරිම තුල දැඩි ච්ත්ත පීඩාවකටද ඔවුන් ලක්ව ඇත.

එබැවින් මෙම කරුණු සැළකිල්ලට ගෙන හෙද නිලධාරීන්ගේ සේවා කැපකිරීම ඇගයීමටත්, ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය පිණිසත් සක‍්‍රිය සේවයේ යෙදුන සෑම දිනක් වෙනුවෙන්ම භේදයකින් තොරව මූලික වැටුපෙන් 1/20 ක දීමනාවක් සියළු හෙද හෙදියන්ට ගෙවීමට කටයුතු කරන ලෙස වැඩිමනක් වශයෙන් ඉල්ලා සිටිමු. ඊට අමතර වශයෙන් විශේෂිත කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත අමතර දිරි දීමනාවක් ලබාදීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා හෙද සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress