ජනතා ගැටලුවලට විසඳුම් දෙමින් කුරුණෑගල සංවර්ධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස්
Posted on August 22nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය 

යාපහුව, පඩුවස්නුවර සහ කුරුණෑගල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධන කිරීමට අදාළ  උපදෙස් සංචාරක අමාත්‍යවරයාට ‍යොමුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.22 දින පැවැසීය.

කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේ පැවැති ජනතා හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය ක‍‍ළේය.

මහව, පොල්පිතිගම අධ්‍යාපන කලාප‍යේ පාසල්වල පවතින භෞතික ගැටලු කඩිනමින් සොයාබලා ඊට විසඳුම් ලබා ‍දෙන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කුඹුක්කඩවල මාර්ගය සහ අලි මිනිස් ගැටුමෙන් පීඩාවිදින තලාගල ගම්මානයට වැටී තිබෙන මාර්ගය ඉතා කඩිමින් සංවර්ධනය කර දෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, විදුලිය නොමැති ප්‍රදේශවලට විදුලිය ලබාදීමටත්, ඉඩම් ගැටලු විසදමින් සියඹලන්ගමුව රෝහල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට එක්ව සිටි හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි පැවිදි අනුශාසනාවක් පැවැත්වූහ.

එක්සත් ජාතික පක්ෂය විජාතික අවශ්‍යතා අනුව කටයුතු කරන විට ඉන් පිටතට පැමිණි ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ බව සිහිපත් කළ රතනජෝති නාහිමියෝ, අනතුරුව සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළට ඇයගේ දරුවන්ගෙන්ම සහයක් නොලැබෙනවිට එදා බෙලිඅත්තෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ  මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ  බව සිහිපත් කළහ.

88/89 කාලයේ එවකට පැවැති රජය වාමාංශික දේශපාලඥයන් ඝාතනය කරන විට ඊට විරුද්ධව හඩක් නැගූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාගමන්වල යෙදී අරගලකොට ජනතාවට නායකත්වය සැපයූ බව නාහිමියෝ පැවසූහ.

රටේ ජනතාව යුද්ධය අවසන් කර ‍දෙන්නැයි ඉල්ලා සිටින විට තමන්ගේ සොහොයුරා ආරක්ෂක ලේකම්ධූරයට පත්කරගනිමින් යුද්ධය ජයග්‍රහණය කරවීමට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බව සිහිපත් කළ රතනජෝති නාහිමියෝ උතුරු හා නැගෙනහිර ඇතුළු මුළු රටම සංවර්ධන‍යේ මාවතට ගෙන ඒමට හැකි වූයේ එම නායකත්වය යට‍තේ බව කියා සිටියහ.

චන්ද්‍රිකා, රනිල්, චම්පික, මංගල, රාජිත විදේශ බලවේගවලට එක්වී ශ්‍රිලනිප ‍ලේකම් සිංගප්පූරුවට ගෙන‍ ගොස් සාකච්ඡා කොට පක්ෂ‍යෙන් ඉවත්කොට එජාපය පැත්තට ගත් බවත් එදා පැරදී මැදමුලනට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත රටේ නායකත්වයට පැමිණෙන්නැයි ජනතාව ඉල්ලා සිටි බවත් නාහිමියෝ කීහ.

ජනතාව එවැනි ඉල්ලීමක් කරන කාලයේ රාජිතලා පැවැසූවේ රාජපක්ෂලාව පාරක් පාරක් ගානේ ඇවිද්දවන්න උවමනා යැයි කියලා බව සිහිකළ රතන‍ජෝති නාහිමි‍යෝ ජනතාව ඊට ඉඩ ‍නොදුන් බව පැවැසූහ. යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය විකුණා දැමු බවත් මත්තල ගුවන්‍තොටුපළට වී ගිහිං දමා ගුවන්තොටුපළ අවතක්සේරු කළ බවක්, එෆ්.සී.අයි.ඩී හදලා රාජපක්ෂවරුන් ‍දේශපාලන‍යෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටියදී ජනාධිපතිවරණය පැමිණි බව කීහ.

මේ වෙලා‍වේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව ඉල්ලුවේ රටට හොද නායක‍යෙක් ‍දෙන්න කියලා, එතුමා තමන්‍ ගෙ  මල්ලිට කතා කරලා ‍මේ  රට භාර ගන්න කිව්වා, ඒ සඳහා ර‍ටේ 69 ලක්ෂයක් වන බහුතර ජනතාවට මනාපය පල කළා, පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ 5කට අධික මනාප ලබාදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව විසින් ජයග්‍රහණය කරවුවා, ඒ වගේම රටේම ජනතාව එක්වී මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගත්තා. ඔබතුමා ඉල්ලපු බලය ජනතාව ඔබතුමන්ලාට ලබා දී තිබෙනවා. දැන් ඔබ තුමන්ලා රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න යැයි හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා, ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress