ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…..
Posted on September 1st, 2020

ලංකාවේ වෙනදේ

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කිරීම සහ අදාල වැරදි සිදුකර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පැමිණිලි කර ඇත.

 එම පැමිණිල්ල මගින් වර්ෂ 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කරන ලද බව දක්වා ඇත. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා හත් දෙනෙකු විසින් ඒකමතිකව තීරණය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව දක්වා ඇති බවත් එසේ තිබියදී එකී ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයට පටහැනි වන ආකාරයට සහ එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝණය වන ආකාරයට නැවත වර්ෂ 2015 දී ද දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා වෙත පෙන්වා දී ඇත.

 වර්ෂ 2002 දී ඉදිරිපත් කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ලබා දුන් තීරණයට පටහැනිව වර්ෂ 2015 දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රියා කිරීම සදහා එකී 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කෙටුම්පත් කර ඇති බවත් පැමිණිල්ල මගින් දක්වා ඇත.

වර්ෂ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කෙටුම්පත් කිරීමට සම්බන්ධව වූ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ නීතියට ගරු කිරීමේ සිය යුතුකම ඉටුකර නැති අතර, නීතිය දැන දැනත් එය උල්ලංඝනය කරමින් පුරවැසියන්ව රැවටීමට ලක්කර ඇති බවත්,  නීතියෙන් ලැබී ඇති බලය සැළසුම් සහගතව අවභාවිත කර ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ නීතියට අනුගත නොවී පනත් කෙටුම්පත් සකස් කිරීම, කෙටුම්පත් කිරීමට සම්බන්ධ වීම මගින් පොදු දේපල අවභාවිත කර ඇති බවත්, වැරදි කර ඇති බවත්, අනුබල දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අදාල සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.

 පොලිස්පති වෙත යොමු කළ පැමිණිල්ලේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකම්, කතානායක පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් දයා සෙනරත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්, නීති කෙටුම්පත් සම්පාදක සහ නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress