විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 වන ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) 22 වගන්තිය (104උ උ ව්‍යවස්ථාව) සංශෝධනයට ජනමතවිචාරණයක් නියම කළහොත් ජනමතවිචාරණය පැවැත්විය යුත්තේ 19 යටද? 20ටද?
Posted on October 11th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.10.11)

ලිපිය දීර්ඝ වීම වැළැක්වීම සදහා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) ඇසුරෙන් පමණක් විග්‍රහ කරමින් මෙම ලිපිය ලියා ඇති අතර අනෙක් ව්‍යවස්ථා 3 අදාලවත් අවස්ථානුගතව එය අදාල කරගත හැකිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 තේරීපත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කර ගත්තේ ය. විධායක ජනාධිපති ධූරය යහපාලනයට බාධාවක් ලෙස දකිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2වන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

පළමු වරට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියව සිටියදී පාර්ලිමේන්තුවට ගෙන ආවේත් රනිල් වික්‍රමසිංහමය. 

ඒ එවකට ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් බලාපොරොත්තු විය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ගත් උත්සාහයේදී අදාලව සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව විභාගකර, එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල තීරණය කරන ලද්දේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව 2/3 සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවද එයට අනුමැතිය දිය යුතු බවයි. 

ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 යේ ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම එතෙකින් අවසන් විය. 

නැවත 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ඇතුළු තවත් විධිවිධාන 16ක් සංශෝධනය කිරීමට උත්සාහ ගත් අතර ඒ අවස්ථාවේ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විමසා බැලූ ශ්‍රී පවන් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලය 2002 දී 19ය ගෙනා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඩුල්ල ලබා දුන් තීරණය අනුගමනය නොකර 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවයෙන් මිදී යනලෙස කටයුතු කර ඇත. ඒ අනුව 70 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම වසර 1 සිට 4 1/2 ක් දක්වා සීමා කිරීමට කටයුතු කරගෙන තිබුණි.

ඒ අනුව 2015 දී 19වන සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව  ජනමතවිචාරණයක් මගින් සංශෝධනය කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ 2/3 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සංශෝධනය කිරීම සිදුවිය. (මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3/ 80.2 අනුව නීතියක් නොවන බව ලියුම්කරුගේ ස්ථවරයයි)

මෙය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බව මෙම ලේඛකයා අවස්ථා ගණනාවකදී පුවත්පත් වලට ලිපි ලියමින් අනාවරණය කරන ලද අතර නීති අධ්‍යයන වැඩමුළු පවත්වමින් ජනතාවගේ අවධානයට යොමු කරන ලදී. විශේෂයෙන් මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මැඩ පැවැත්වීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව ඉල්ලා ඇත. 

එමෙන්ම නීතිපති ලෙස කටයුතු කරන දප්පුල ද ලිවේරා නීතිඥවරයා 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් විසින් ඒකමතිකව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය කෙටුම්පත් කිරීම මගින් (70 වන ව්‍යවස්ථාව සංශෝධනය) 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති(නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධරම පිළිබද රීති) කඩ කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාටද මෙම ලියුම්කරු පැමිණිලි කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2015 දී උත්සාහ ගත් අවස්ථාවේ දී ශ්‍රී පවන් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය ලබා දීමේදී 2002 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු සභාවේ තීරණය අනුගමනය නොකිරීම පර් ඉන්කූරියම් / Per Incuriam / ප්‍රමාද දෝෂයෙන් කර ඇති යන්න මෙම ලියුම්කරුගේ ස්ථවරය විය. 

කෙසේ වෙතත් මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් සිය විභාගය පැවැත්වීම අවසන්කර ඇති අතර, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරෙ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ යන ජ්‍යේෂ්ඨ විනිසුරුවරු විසින් එකී විභාගය පවත්වා ඇති අතර එහි තීරණය (Determination) පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යවනු ඇත.

එකී තීරණයේ 70 වන ව්‍යවස්ථාව එනම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව 2/3 ක් සහ ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව කියා තිබුණහොත් 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම එය සම්මත කරගෙන ඇති ක්‍රියා දාමයම බරපතල ලෙස නීතිමය ලෙස අභියෝගයට පත් වේ. මන්ද යත් 2015 දී ජනමතවිචාරණයකට නොගොස් සංශෝධනය කරගත් 70 වන ව්‍යවස්ථාව නැවත මුල් තත්ත්වයට ගෙන ඒම අර්බුදකාරී වීමයි. ( එනම් ජනමතය නොවිමසූ 70ට ජනමතය විමසන්නේ ඇයි? යන්න ජනතාව ප්‍රශ්න කරනු නිසැකය.)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් 70 වන ව්‍යවස්ථාව එනම් 14 වන වගන්තිය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක අවශ්‍යතාවය තීරණය කළහොත් ඉන් හැගී යන්නේ ජනමතය විමසීමෙන් අනතුරුව 19 වන ව්‍යවස්ථාව සංශෝධනය මගින් 2015 දී 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඇති බව යන්න ඇතැමෙකුට තර්ක කළ හැකිය. මන්ද 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 70 වන ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ ජනමතවිචාරණයකින් පසුව විය යුතුය. නමුත් අප කවුරුත් දන්නා පරිදි 2015 දී 70 වන ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ජනමතවිචාරණයක් මගින් 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකයක් ලැබීමෙන් නොව 80.1 ව්‍යවස්ථාව අනව කථානායකවරයාගේ සගතිකය ලබාගෙනය.

මේ සියලු කාරණා නෛතිකව විසදෙනු ඇත්තේ 20ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබීමෙන් පසුවය. එහිදී 70 වන ව්‍යවස්ථාව (14වගන්තිය) සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහොත් ඉන් හැගී යන්නේ එම විනිසුරුවරු 2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව නොව 2002 දී 19 යට දුන් පූර්ණ විනිසුරු මඩුල්ලේ තීරණය මත පදනම්වී 20 සම්බන්ධයෙන්  තීරණයට එළඹී ඇති බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීරණය මේ දක්වා පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර නැති නමුත් එකී තීරණයේ 70 වන ව්‍යවස්ථාව (14 වගන්තිය) සම්බන්ධයෙන් ජනමතවිචාරණයක අවශ්‍යතාවය ලියවී තිබුණහොත් අර්බුදයට යන්නේ 20 නොව 2015 ගෙන ආ 19යයි. මන්ද 2015 දී 19 ය ජනමතවිචාරණයකට යොමු නොවීමයි.

ඉහත මතුකරන කරුණු අනුව පැහැදිලි වන්නේ,

70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය 20 දී තීරණය කළහොත් 2015 දී ගෙනා 19 වන සංශෝධනය නීතියක් ලෙස තවදුරටත් සැළකිය නොහැකි බවයි. එනම් 19ය යනු පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් සම්මතවී ඇති පනත් කෙටුම්පතක් පමණක් බවත් මේ දක්වා ජනමතවිචාරණයක් මගින් අනුමැතිය ලැබී නැති බවත් ය.

ඒ අනුව 2015 දී 19ය ගෙනවිත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළ අයට අත්වන ඉරණම ගැන බලා ගත හැක්කේ 20 ට ලැබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව සහ 19 යේ වැරැද්ද නිවැරදි කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගන්නා ඉදිරි පියවර අනුවය.

ඒ සදහා ජනාධිපතිවරයාට මේ නෛතික අර්බුදය විසදීමට ශ්‍රේෂ්ඨාධිකරණ උපදේශන අධිකරණ බලය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් මතය (Opinion) විමසීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වන ව්‍යවස්ථාව අනුව හැකියාව ඇත.

එමෙන්ම වත්මන් කථානායකවරයාටද මේ ව්‍යවස්ථා අර්බුදය විසදීමට විසල් කාර්යයක් පැවරී ඇත. එනම් 2015 දී 19යට සහතිකය යෙදූ කතානායකවරයා සිදුකළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීමයි. එනම් 2015 දී එවකට කථානායකවරයා 80.1 ව්‍යවස්ථාව අනුව සහතිකය යොදා ඇත්තේ 80.2 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සහතිකය යෙදිය යුතු ජනමතවිචාරණයකින් පසුව නීතියක් විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට හෙයින් එය නිවැරදි කිරීමයි. ඒ සදහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 80.1 ව්‍යවස්ථාව යටතේ  කථානායකවරයා යෙදූ වැරදි සහතිකය ඉවත්කර 79 වන ව්‍යවස්ථාව යටතේ නිවැරදි සටහන යොදා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට අවස්ථාව සළසා දීමයි.

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 වන ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) 22 වගන්තිය ( 104උ උ ව්‍යවස්ථාව) සංශෝධනයට ජනමතවිචාරණයක් නියම කළහොත් ජනමතවිචාරණය පැවැත්විය යුත්තේ 20ට නොව 19 යට බවයි. 

මන්ද යත් ජනමතවිචාරණයක් පැවැත්විය යුත්තේ ජනමතවිචාරණයක් පවත්වා සංශෝධනය කරගත් ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මිස ජනමතවිචාරණයක් නොපවත්වා කුමන්ත්‍රණකරුවන් මාර්ගයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා සංශෝධනය කිරීමට නොවන හෙයිනි. 

කෙසේ වෙතත් ඉදිරියේදී ලැබෙන 20සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබාගැනීමට හැකියාව ලැබේවායි ලියුම්කරු ප්‍රර්ථනා කරයි. ඒ සදහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකාරයද පිරිනමා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress