Mother Sri Lanka ආයතනයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමා හමුවෙති
Posted on October 14th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  සහ  Mother Sri Lanka ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ 2020.10.13 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Mother Sri Lanka ආයතනයේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් කිරීම මෙහි මූලික අරමුණ විය.

2008 වර්ෂයේ ස්ථාපනය කර ඇති Mother Sri Lanka ආයතනය, වගකිව යුතු පුරවැසියෙකුවීම සඳහා පෙර පාසල්, පාසල් දරුවන් හා ශ්‍රී ලංකා තරුණ ප්‍රජාවේ චර්යාවන් සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ වූ ආයතනයකි.

මේ යටතේ පාසල් 2600ක Mother Sri Lanka සමාජ ගොඩ නැඟීම තුළින් රාජ්‍ය, පෞද්ගලික හා අන්තර්ජාතික පාසල්වල දරුවන්ට අධ්‍යාපනික, නායකත්ව ගුණාංග වර්ධනය හා ජාතීන් හා ආගම් අතර සංහිඳියාව ගොඩනැගීමේ, වගකිව යුතු පුරවැසියෙකුවීම සඳහා යොමු කිරීම ඇතුළත් ව්‍යාපෘති ක්‍රියාත්මකය.

අධ්‍යාපනය අමාත්‍යාංශය හා එක්ව දිවයින පුරා පිහිටි පාසල් සම්බන්ධකරගනිමින් ක්‍රියාත්මක දරුවන්ගේ විෂය සමඟාමී ක්‍රියාකාරකම් හා රටට ආදරය කරන වගකිව යුතු පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය ආකල්ප සංවර්ධනය, යුතුකම් හා වගකීම් පිළිබඳ දරුවන්ගේ මනස ගොඩනැගීම, ජාතික අභිමානය ඇති වගකීම් සහිත පුරවැසියෙකු බිහිකිරීමට අවශ්‍ය වැඩසටහන් ඊට අන්තර්ගතය.

දරුවන්ගේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය මඟපෙන්වීම් සිදු කරන වැඩසටහන්, පිරිවෙන් අධ්‍යාපනය මූලික කර ගත් වැඩසටහන්,  පරිසරය පිරිසිදුව තබා ගැනීම හා පරිසරයට ආදරය කිරීම මූලික කර ගත් වැඩසටහන් ද Mother Sri Lanka  ආයතනය ක්‍රියත්මක කරයි.

මෙහිදී Mother Sri Lanka ආයතනයේ සභාපතිනී ආචාර්ය ජානකී කුරුප්පු මහත්මියගේ හා නියෝජිත මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යතුමා හා ලේකම්තුමා සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී පාසල් ළමුන් සම්බන්ධ කරගනිමින් මෙහි වැඩකටයුතු තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය  කටයුතු සිදු කරන මෙන්ද අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ අත්දැකීම් බහුල භාරකාර මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු මඟින් පාලනය වන මෙම ආයතනය මේ වන විට දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා  ද ක්‍රියාත්මක වේ.

දේශීය නිෂ්පාදන නගාසිටුවීම තුළින් ව්‍යවසායකයාට වෙළඳපොළ වටිනාකම ලබාදීම හා ඒ තුළින් ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීම, ස්වයං රැකියා හා දේශීය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දේශීය ව්‍යාපාර  125 ක් යටතේ, දිස්ත්‍රික්ක 8ක පවුල් 5000 ට පමණ මේ දක්වා Mother Sri Lanka ආයතනය උපකාර කර ඇත.

ඒ යටතේ ක්‍රියාත්මක දේශීය ව්‍යාපාර නගාසිටුවීම සඳහා රජයේ අමාත්‍යංශ හා ඒකාබද්ධව අවශ්‍ය, සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම හමුවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, Mother Sri Lanka ආයතනයේ සභාපතිනී ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය, Mother Sri Lanka ආයතනයේ භාරකාර මණ්ඩල සාමාජිකයින් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, අද්මිරාල් තිසර සමරසිංහ, තුෂාන්ත කරුණානායක, රියාස් ෂබාන්, පියදාස මාරම්බේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress