නව වසර උදාවට අග්‍රාමාත්‍යතුමා කතරගම ආගමික වතාවත්වල නිරතවෙයි
Posted on January 1st, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දෙදහස් විසි එක නව වසර උදාව නිමිත්තෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම කේන්ද්‍රකරගත් ආගමික වතාවත්වල නිරත වූයේ ය.

දෙසැම්බර් 31 වැනිදා සන්ධ්‍යාවේ කතරගම කිරි වෙහෙර වැඳ පුදාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අනතුරුව රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

රටේ ජනතාවටත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ටත් නව වසර උදාව වෙනුවෙන් ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහිදී ආශිර්වාද එක් කළහ.

අග්‍රාමාත්‍යතුමා කතරගම අෂ්ටඵල බෝධිය වැද පුදා ගත්තේ ඉන් පසුවය. එහි ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍යතුමා කතරගම අභිනවාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්විය.

කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසුවේය. අනතුරුව කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

නව වසර උදාවත්ම රුහුණු කතරගම මහා දේවාලයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නව වසර උදාවත්ම එහි ආගමික වතාවත්වල නිරතවෙමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය , අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිය, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිය, රාජ්‍ය අමාත්‍යවරුන්වන විජිත බේරුගොඩ, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු,  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද 2021.01.01 දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාට සහ පවුලේ සමාජිකයන්ට ආශිර්වාද එක් කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress