ලොතරැයි ජයග්‍රාහී මුදල් දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 7th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයන් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වැඩිය පහළ මට්ටටමට වැටී ඇති නිසා ජයග්‍රාහී මුදල් දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා ලොතරැයිපත්වලින් බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා අද 2021.01.07 දින අරලියගහ මන්දිරයේදී චෙක්පත් ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

කෝටිපති කප්රුක 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/- ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට හා ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 57,138,276/- ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී.කොඩිතුවක්කු මහත්වරුන්ට අදාළ චෙක්පත් මෙසේ ගරු අග්‍රාමාත්‍යතුමා අතින් ලබා දුන්නේය.

මෙම ලොතරැයිපත් අලෙවි කරනු ලැබුවේ අඹන්පොල අලෙවි නියෝජිත යූ.ඩී.එල්.දිනේෂ් කුමාර මහතා හා ගල්ගමුව අලෙවි නියෝජිත ටී.එම්.එස්.බී.මැණිකේ මහත්මිය විසිනි.

ලොතරැයි ජයග්‍රාහයින් විසින් දිනා ගන්නා මුදල් සිය පවුලේ හා දරුවන්ගේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙන් පමණක් යෙදවීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

ජයග්‍රහණය කළ මුදල් පෞද්ගලකිව දිනාගත්තද මෙම මුදල් නිසි පරිදි තමන්ගේ දියුණුව වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන්න. දූ දරුවන් මෙන්ම පවුලේ අනාගතය වෙනුවෙන් මෙම මුදල් කදිම ආයෝජනයක් ලෙස යෙදා ගත හැකියි. විශාල මුදල් ප්‍රමාණයක් ලැබූ පමණින් එම මුදල් අනවශ්‍ය දෑ සඳහා වැය කිරීමෙන් අවසානයේ කිසිවක් නැති තත්ත්වයට නැවත පත්වන්න පුළුවන්. ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයන් මෙවැනි ජයග්‍රහණවලින් පසුව දුර්වල මුදල් පරිහරණය නිසා හිටපු තත්ත්වයටත් වැඩිය පහළ මට්ටටමට වැටිලා තියෙනවා. එවැනි උදාහරණ ඕනෑ තරම් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මුදල් දූ දරුවන්ගේත් පවුලේත් අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress