අග්‍රාමාත්‍යතුමාගෙන් කුරුණෑගලට අති නවීන රෝහලක්
Posted on January 10th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2020.01.10 දින පැවසීය.

පළාත් මහ රෝහලේ හා දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ආශ්‍රිතව පවතින ගැටුලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති හමුවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අලුතින් නව රෝහල ඉදිකර අවසන්වනතුරු අනෙකුත් රෝහල්වලට සමගාමීව කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහාම පියවන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මසක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය  පියවන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහලක් ලෙස මේ දක්වා ක්‍රියාත්මකවන බව මෙහිදී අනාවරණය විය.

වසරකට රෝගීන් මිලියන 1.2ක් පමණ මෙම රෝහල ඔස්සේ ප්‍රතිකාර ලබන අතර 2019 දත්ත අනුව එම වසරේදී භාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් ගණන හයලක්ෂ තිස්දහසකි. මාසික නව දරු උපත් 1000ක් පමණ සිදු වේ.

කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනිවන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. ඇඳන්  2374 කින් සමන්විත රෝහලේ වසරකට ශල්‍ය කර්ම 18000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරයි.

ශල්‍යාගාර 06 ක් පමණ යොදාගනිමින් මෙම ඉලක්කය සපුරන බව කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පෙන්වා දුන්නාය.

නව මාතෘ වාට්ටු සංකීර්ණය හා විශේෂඥ ශල්‍ය ඒකක සඳහා අවශ්‍ය ශල්‍යාගාර, විකලාංග හා අක්ෂි ශල්‍ය ඒකකයක්, නව ජන්ම ළදරු ඒකකයක් ඇතුළු රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය සහ ඉදිරි සංවර්ධන සැළැස්ම පිළිබඳව  කුරුණෑගල මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා මෙහිදී විස්තර කළේය.

පිහිටීම අනුව ප්‍රධාන මාර්ග 5ක් එකිනෙකට සම්බන්ධවන නිසා වෙනත් දිස්ත්‍රික්කවල ජනතාව ද කුරුණෑගල රෝහලට ප්‍රතිකාර සඳහා යොමුවන බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිම ජාතික වටිනාකමක් සහිත කුරුණෑගල රෝහලට පසුගිය කාලයේ සිදුව ඇති හානිය විස්තර කළේය.

මෙහිදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගලට අවශ්‍යවන්නේ පවතින රෝහල නවීකරණයට වඩා නගරයට ගැලපෙන නව රෝහලක් යැයි පවසමින්  අලුතින් රෝහලක් ඉදි කර දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව නව රෝහලක් ඉදිවිය යුතු බව සිය අදහස බව පැවසූ අග්‍රාමාත්‍යතුමා අදාළ රෝහලේ මූලික සැලැස්ම මාස දෙකක් ඇතුළත දළ ඇස්තමේන්තු සහිතව තමන්ට ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන්නේය.

මෙම හමුවේදී විශේෂ හෙළිදරුව්වක් කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 1948-2008 වසර දක්වා 600කට සීමා වී තිබු රටේ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2008-2015 කාලයේදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී 2100 දක්වා ඉහළ දැමූ බවත් 2015-2020 කාලයේදී එම සංඛ්‍යාව 2086 දක්වා අඩුවී ඇති බවත් පෙන්වා දුන්නේය.

පසුගිය ආණ්ඩුව සමයේ වෛද්‍ය පත්වීම් ප්‍රමාද වීම නිසා වෛද්‍යවරුන් 4000 කින් 2000 කට, රට හැර ගියා හෝ කුමක් සිදුවී දැයි දැන ගන්නට නැතැයි ද හෙතම කීවේය.

මහරගම පිළිකා රෝහලට වෙනදා දිනකට ඇතුළු වූ රෝගීන් ගණන දෙදෙනෙක් තුන්දෙනෙක් වුවද දැනට එම සංඛ්‍යාව දිනකට 74-78 දක්වා ඉහළ ගොස් ඇතැයි කී විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා, කෘෂි රසායන භාවිතය නවතා දමමින් කෘෂි කර්මාන්තය කාබනික හෝ හෙළ ගොවිතැනට යොමු කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේය.

වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, පොල්පිතිගම ඇතුළු රෝහල්වල පවතින දුෂ්කරතා මඟහැරීමට ද මෙහිදී අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඊට අදාළ ලිපි ගොනුවක් ද අග්‍රාමාත්‍යතුමාට භාර දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, වයි.ජී රත්නසේකර, අසංක නවරත්න, සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත්, මංජුලා දිසානායක, මහාචාර්ය චරිත හේරත්, කරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, කුරුණෑගල මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමෙයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress