පාර්ලිමෙන්තු පොකුර?
Posted on January 11th, 2021

වාගිස ප්‍රනාන්දු විසිනි.

මෙවැනි මාතෘකාවක් අරඹයා මෙතරම් ඉක්මණට ලිපියක් ලිවීමට සිදුවෙතැයි ඔබ මෙන්ම මාද සිතුවේ නැත.

නමුත් සිතූ දේ නොම වේ – නොසිතූ දේම වේ යන්න අනුුව යමින් අද මේ ප්‍රවෘත්තිය ගැන අපට සාකච්චා කරන්නට අවස්ථාව සහ වරම හිමිවී ඇත. එම අවස්ථාව සහ වරම අපට හිමිවී ඇත්තේ රටේ සෞඛ්‍ය ඇමතිවරියට පිං සිදුවන්නට බව මුළින්ම කෘතගුණපූර්වකව සිහිපත් කල යුතුය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කොරෝනා දෙවන රැල්ල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භවීමෙන් පසුව සෞඛ්‍ය ඇමතිවරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සදහා රටේ ජනතාව විසින් අනුගමනය කල යුතු ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි හදුන්වා දුන් අතර එවැනි සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි නොපිළිපදින රටවැසියන් අධිකරණය ඉදිරියට පමුණුවා දඩුවම් කරන බවත් දැනුම් දෙන ලදී.

එම ගැසට් පත්‍රයට අනුව පොදු ස්ථානවලදී සියළුම දෙනා මුව ආවරණ පැළදියයුතු බව මෙන්ම ඊට අමතරව එකිනෙකා අතර මීටරයක දුරස්ථභාවය පවත්වාගැනීමද අනිවාර්ය කර තිබිනි.

ඉන්පසුව මුව ආවරණ නොපළදින සහ මීටරයක දුර පවත්වා නොගන්නා පිරිස් පොලීසිය විසින් අධිකරණයට පමුණුවා දඩ ගැසූ අවස්ථාවන් මුද්‍රිත මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා දිනපතා වාර්තාවිය. ඒවාගේම ඉතාම මෑතකදී මුව ආවරණ නොපළදින අයට පොලීසිය විසින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂාව අනිවාර්ය කල පුවතක්ද වාර්තාවිය.

නමුත් නීති සම්පාදනය කරන පාර්ලිමෙන්තුවට එම නීතිය අදාළ නොවන බව ඇමතිවරිය පාර්ලිමෙන්තුව තුලදීම ප්‍රකාශකලේ අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව පාර්ලිමෙන්තුව පොදු ස්ථානයක් නොවන බවත් එමනිසා පාර්ලිමෙන්තුව තුලදී මීටරයක පරතරය සහ මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍යනොවන බවත්ය.

ඇය එසේ ප්‍රකාශ කලේ ඔක්තෝබර් මස 20 වනදා හෝ ඊට ආසන්න දිනයකදීය. අද ජනවාරි 12 වනදාය. ඇගේ ප්‍රකාශයෙන් පසුව ගතවී ඇත්තේ මාස 3කටත් වඩා අඩු කාලයකි. එම කාලය තුල පොදු ස්ථානයක් නොවනවා යැයි කියූ අතිවිශේෂ ස්ථානයේ නිතර ගැවසෙන අතිවිශේෂ පුද්ගලයින් 225 දෙනා අතරින් මේවනවිට අතිවිශේෂ ආසාධිතයින් 3ක් වාර්තාවී ඇත.

එම ආසාධිතයින් තුන්දෙනාගේ එක් අයකුවන රවුෆ් හකීම්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස කැමරා දර්ශණ මාර්ගයෙන්  මංත්‍රීවරු 11 දෙනෙකුද ඔහුගේ නිවසට පැමිණි තවත් මංත්‍රීවරුන් 4 දෙනෙකුද මේවනවිට හදුනාගෙන ඇත.  දයාසිරිගේ ආශ්‍රිතයින් මීට පෙර හදුනාගත් අතර වාසුගේ ආශ්‍රිතයින් අද හෙට හදුනාගැනීමට නියමිතව ඇත. මීට අමතරව අගමැතිගේ දේශපාලන කටයුතු පිළිබද සම්බන්ධීකරන නිලධාරියාද ආසාධිත විය. 

එමනිසා තත්වය සුළුවෙන් තැකිය නොහැක. ආසාධිතයින් වාර්තාවීම මෙසේ දිගටම පැවතුනහොත් පාර්ලිමෙන්තුවෙන්ද පොකුරක් බිහිවීමට බොහෝදුරට ඉඩ කඩ ඇත. මැති ඇමතිවරුන් සමාජය සමග බද්ධව සිටින හෙයින් සහ සිටිය යුතු හෙයින් පාර්ලිමෙන්තු පොකුරට අනුබද්ධව තවත් අනුපොකුරු කීපයක් සමාජය තුලද බිහිවීමට ඉඩ කඩ ඇත.

රටේ සාමාන්‍ය ජනතාවට වඩා වරදාන වරප්‍රසාද පාර්ලිමෙන්තු මැති ඇමතිවරුන්ට තිබෙන බව සැබෑවකි. වරෙක ඔවුන් අධිකරණයටද වඩා ඉහළින් සිටිය යුතු බවට මතයක්ද සමාජයේ පැතිරිනි. ඒ කෙසේවුවත් කොරෝනා වෛරසයට තමන්ගේ පැවැත්මට සහ පැතිරවීමට ඒ කිසිවක් අදාළ නැත.

සුනාමිය සේම කොරෝනාද අපට බොහෝ පාඩම් උගන්වා ඇත. පරිසරයට අප කල හානිය ගැන නැවත සිතන්නට සුනාමිය අපට උගැන්වුවා සේම අප අතර පවතින ඇති නැති පරතරය මෙන්ම ආගම් කුලමල ජාති යනාදි සකලවිධ භේදයන් කොරෝනා වසංගතයට කිසිසේත් අදාළ නැති බව පසක් කර දී ඇත.

නමුත් බලයෙන් උද්දාමයට පත් ඇතැමුන් එකී සත්‍යය තවමත් පිළිගැනීමට සූදානම් නැත. තමන්ගේ සියළු නොපෙනත්කම් වරප්‍රසාද සහ අසීමිත බලය මගින් යටපත් කරන්නා සේ කොරෝනා වසංගතයද ඒ අයුරින්ම තමන්ගේ බලය සහ පුහු මාන්නය මගින් යටපත් කිරීමට හැකිවේයැයි තවමත් සිතනු ඇත.

නොඑසේනම්, රටේ පොදු ජනයාට සේවය කිරීම සදහා පිහිටුවා ඇති උත්තරීතර ආයතනය වන පාර්ලිමෙන්තුවද ඇමතිවරියගේ ඉහතකී අතිවිශේෂ ගැසට් පත්‍රය විසින් පොදු ස්ථානයක් ලෙසට නම් කර එහි සියළු මැති ඇමතිවරුන්ද අදාළ ගැසට් පත්‍රයේ රෙගුලාසිවලට යටත් කල යුතුව තිබුනි. එසේවුවානම් අපට මෙසේ ලිවීමට මාතෘකාවක්ද මතු නොවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress