අග්‍රාමාත්‍යතුමා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිගේ සුව දුක් විමසයි
Posted on January 28th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරස්ථානයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.01.28 දින විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුව දුක් විමසා බැලුවේය.

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිහිපත් කරවන බව සදහන් කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරය වැදපුදා ගැනීමට පැමිණීම අගය කරන බව පැවසූහ.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍යතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කළහ.

කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පැමිණ සිටි මහජන නියෝජිතයන් සමඟ ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුහද පිළිසදරක නිරත විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා, තරුණ තරුණියන් 500 දෙනෙකු ශීල සමාදානය වූ කැලණිය රජ මහා විහාරයේ පැවැති ශීල වැඩසටහනට හා සම්බන්ධ විය.

එහිදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ විසින් උන්වහන්සේ රචිත තරුණ සිතට බුදු දහම කෘතිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

අග්‍රාමාත්‍යතුමා මෙම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නයට නා පැළ ඇතුළු ශාක විශේෂ රුක් රෝපණය සදහා පුජා කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress