කෲඩියා සිලනිකා ගන්නේ දරට
Posted on February 11th, 2021

උපුටාගැණීම ලංකාදීප

ගම්පහ හෙනරත්ගොඩ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම කෲඩියා සිලනිකා ශාඛය සංරක්ෂණය කර ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම ශාඛය රනිල කුලයේ ශාඛයක් වන අතර නයිට්‍රජන් එකතු කිරීමේ ඇති හැකියාව හැරුණු විට විශේෂත්වයක් නැතැයි ද ගම්වල එය භාවිතා කර ඇත්තේ දරට පමණක් යැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.

සාමාන්‍යයෙන් මෙම ශාඛය ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියකින්ම සොයාගෙන ඇති බවත් පහත්බිම්වල එය වැවෙන බවත් කී ඇය ගම්පහ උද්භිද උද්‍යානයේ වැඩුණු ගස් තුනක් ඇතැයි ද කීවාය. එහි ඇට එකතුකර ඇට පැළ කර ඇතැයි ද පේරාදෙණිය හා ගම්පහ උද්භිද උද්‍යානවල එම පැළ රාශියක් ඇතැයි ද ඇය කීවාය.

මෙය ඒකදේශිය ශාඛයක් බව සැබෑ නමුත් එය වඳවීමේ තර්ජනයක් දැන් නැතැයි ද ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.

මෙම ශාඛය ගලවා ගුවනින් ගෙන ගොස් මුතුරාජවෙල සිටුවීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මැල්වත්ත සහ සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා ගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දැන් එය සඟසතු කර ඇති බැවින් එම අදහස අත්හළ බවය. කිසිසේත්ම එය සංරක්ෂණය කිරීමට තම සමාගම දැන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම කියා සිටියේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කියා සිටියේ එම ගස පෞද්ගලික සමාගමකට රෝපණය සඳහා රජය අවසර දුනහොත් තමන් නඩු මගට  බසින්නට සූදානම් බවය. වනසත්ව හාවෘක්ෂලතා ආරක්ෂඛ ආඥාපනත අනුව කිසිදු තැනැත්තෙකුට ආරක්ෂිත පැලෑටියක් ඉවත් කිරීම, ඉදිරීම, හෝ විනාශ  කිරීමට අවසර නැති බවත් එය දඬුවම්  ලැබිය හැකි වරදක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress