පාසල් කාලයේ සිටම ක්‍රීඩාවලට සම්බන්ධ වී කටයුතු කිරීමට දරුවන් පෙළඹිය යුතුයි – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on February 11th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාසල් කාලයේ සිටම ක්‍රීඩාවලට සම්බන්ධ වී කටයුතු කිරීමට දරුවන් පෙළඹිය යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.02.11 දින පස්වරුවේ පැවසීය. 

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතා අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 360ක මුදලක් වැය කරමින් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. සිසු දරුවන් 2861ක් හා ආචාර්ය මණ්ඩලයේ අනූ දෙදෙනෙකුගෙන් සමන්විත කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට මූලිකව පැවැති අඩුපාඩු රැසක් මෙම නව ගොඩනැගිල්ල විවෘත වීමත් සමඟ මග හැරී ඇත.

සිසු දරුවන් සහ විදුහල්පති විමල් විජේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍යතුමා පිළිගැනීමට එක්ව සිටියහ.

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

අද මෙම පාසලට ඇවිල්ලා ඔබ සැම හමුවීමට අවස්ථාව ලැබීම ගැන සංතෝෂයට පත්වෙනවා. අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම.

අපි මොනතරම් මහන්සි වුණත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන් සීමාසහිත සංඛ්‍යාවකටයි. ඒ නිසාම තමයි කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන අවශ්‍ය වන්නේ. විශේෂයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය හදලා අපේ දරුවන්ගෙ දෑතට සවියක් ලබා දෙන්න අප කටයුතු කළා. ඒ වගේම ඒ දෑතට සවියක් ඇති වුණාම ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමට අසීරු නැහැ. අපේ යුගයේ අපි තරුණ තරුණියන්ට පුහුණවක් ලබා දීලා කොරියාවට ජපානයට යවන්න පටන් ගත්තා.

මට මතකයි මුල් අවස්ථාවේ අපේ ආසනේ තරුණයන්ට කොරියාවේ යන්න කිව්වාම අපි ඔබතුමාට වැඩ කළේ කොරියාවේ යන්න නෙමෙයි කියලා මට දෝෂාරෝපනය කළා. ඒ පාර මම ඒ ගමේම සහෝදරියක්ව යැව්වා. ඊට පස්සෙ පළවෙනි පඩිය ලැබිලා ගෙදරට සල්ලි ටික එව්වාම අර කොල්ලොටික ආපහු දුවගෙන ඇවිල්ලා අනේ සර් අපිවත් යවන්න කිව්වා. 

එතකන් කොරියාව පිළිබඳව දැක්වූයේ අමතු ආකල්පයක්. හැබැයි අද ඒක නැහැ. අද අපේ තරුණයො පිටරට යන්න ගිහිං රැකියා කරන්න උනන්දුවක් දක්වනවා. අපි ඔබෙන් බලාපෙරොත්තුවෙන්නෙ කුමක්ද ? පුළුවන්තරම් මහන්සිවෙලා ඉගෙනගෙන අපේ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් ලබපු දරුවො බවට පත්වෙන්න. 

පාසලක ප්‍රතිඵල අනුව තමයි ඒ පාසලේ හොඳ නරක අධ්‍යාපනය තක්සේරු කරන්නෙ. අපි දන්නවා හුඟක් පාසල්වලට ක්‍රීඩා පිටි නැහැ. පාසල් කාලයේ ඉඳන්ම ක්‍රීඩාවලට සම්බන්ධවෙලා කටයුතු කරන්න දරුවො පෙළඹෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ. දරුවන්ට පොතේම එල්ලිලා ඉන්න බැහැ. එහෙම ඉන්නකොටත් එය විශාල පීඩනයක්. 

ඒ නිසා ඔබ මේ කාලය තුළ ලබන්නාවු දැනුම අධ්‍යාපනය විතරක් නෙමෙයි ක්‍රීඩාවලින් වෘත්තිය පුහුණුවලින් ලබන්නා වූ දැනුම ප්‍රයෝජනයක් වෙනවයි කියන එක අපි විශ්වාස කරනවා. 

මේ දරුවන්ගෙන් දෙමපියන්වන ඔබ සියලුදෙනාම සහ අපිත් බලාපොරොත්තු වෙන්නෙ දරුවන් හොඳට ඉගෙනගන්න ඕනි කියලයි. හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියන්වීමට කටයුතු කරන්නැයි දරුවන්වන ඔබගෙන් අපි ඉල්ලා සිටිනවා. 

ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියංකර ජයරත්න, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, අලි සබ්රි රහීම් මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශයේ මහජන නියෝජිතයන්, විදුහල්පති විමල් විජේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් හා දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress