පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශය
Posted on February 23rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආයුබෝවන්!

පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සහ එතුමාගේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අද 2021.02.23 දින පිළිගැනීමට ලැබීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙනවා.

අගමැතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනතාවට අමුත්තෙකු නොවේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ ඔබගේ නායකත්වය අගය කළ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිති.

ඔබගේ රට දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු වන අතර ශ්‍රී ලංකාව හැමවිටම පාකිස්තානය සමීප හා අව්‍යාජ මිතුරෙකු ලෙස සලකයි. අපේ ජනතාව ද පාකිස්තානය ඉතා ඉහළින් අගය කරති.

පාකිස්තානය අත්‍යවශ්‍ය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ සමීප මිතුරෙකි. මගේ ජනාධිපතිධූර කාලය තුළ දී භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් වැදීමට අපට සිදුවිය. 2009 මැයි මාසයේ දී එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගයට අපි කෘතඥ වෙමු.

අද සවස පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මම දෙරට අතර ආර්ථික, වෙළඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවයෙන්  කටයුතු කිරීමට ගිවිස ගතිමු.

පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථාවන් හඹා යාමට ද අපි එකඟ වූයෙමු.

අපගේ සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. දෙරට අතර සංචාරක හා ගුවන් සේවා අංශවල ක්‍රියාකාරකම් ඉහළ  දැමීමට ද අපි එකඟ වූයෙමු. 

පාකිස්තානයේ පුරාණ බෞද්ධ උරුමයන් නැරඹීම වන්දනා මාන කිරීමට ශ්‍රී ලාංකේයන් සඳහා මඟවිවර කරදීම පිළිබඳව පාකිස්තාන රජයට අපගේ කෘතඥතාව හිමිවෙයි.

අප ගත් තවත් වැදගත් තීරණයක් නම් පාකිස්තාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් ඔස්සේ  පාර්ලිමේන්තු අන්තර්ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි.

දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය සාමය ප්‍රධාන වශයෙන් වැදගත්වන බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි.

අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ වැදගත් කොටසක් වන දරිද්‍රතාවය සහ සමාජ ආර්ථික විෂමතාවය සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දරණ උත්සාහය මම ඉතා අගය කොට සළකමි.

ත්‍රස්තවාදය, ආගමික මූලධර්මවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අපි අඛණ්ඩව එක්ව කටයුතු කරමු.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අදාළ නියෝජිත ආයතන ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වර්තමාන යාන්ත්‍රණය සමඟ ඉදිරියට යාමට අපගේ සාකච්ඡාවල දී අපි එකඟ වූයෙමු.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව අපි පාකිස්තානයට ස්තූතිවන්ත වෙමු.

පාකිස්තානයේ ඉහළ පෙළේ බහු-විධ ව්‍යාපාරික දූත පිරිසක් සමඟ හෙට දිනයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ව්‍යාපාර හා ආයෝජන සමුළුවක මුල සුන හොබවනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගන්නා මෙම සෘජු වෙළඳ සබඳතාවය ඔස්සේ දෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළඳාම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් ඇතිවන ඇතැයි අපි අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට සහ පකිස්තාන දූත පිරිසට ස්තූතිවන්ත වන අතරම, ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව සඳහන් කරමි.

ඔබට ස්තුතියි !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress