අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට
Posted on May 5th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති  54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB)අධිපතිධුරය හොබවමින් සිටියේය.

ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.  ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ආයුබෝවන් !

ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් මගේ අදහස් බෙදා ගැනීමට හැකිවීම භාග්‍යයක් කොට සළකමි. ලබන වසරේ මෙම රැස්වීම කොළඹ දී පැවැත්වීමට නියමිත නිසා එය තවත් විශේෂිත වේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්  පෙර නොවූ විරූ ලෙස මිනිස් ජීවිත අහිමි වී ඇති අතර අපේ ජන ජීවිතය,සමාජය,ආර්ථිකය මෙන්ම වටිනා හර පද්ධති සහ අපගේ සංස්කෘතික භාවිතයන් සියල්ල කඩාකප්පල් වී ඇත. එවැනි පසුබිමක් තුළ නැවත සාමූහිකව නැගී සිටීමට සුදුසුම කාලය මෙය බව මම විශ්වාස කරමි.

මෙම සියවස ආසියානු සියවසයි. අපේ කලාපය බොහෝ අර්බුයන්ට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ඒවාට  ඔරොත්තු දීමේ හැකියාව සඳහාත් ආසියාව ප්‍රසිද්ධියක් උසුලනවා. එබැවින් වර්තමාන වසංගත තත්ත්වය තුළ පවා අපගේ කලාපය ලෝක වර්ධනයට නායකත්වය දීම පුදුමයක් නොවේ.

අධිපතිවරුනි,

නැගී එන ආසියාවට ලෝකය මෙහෙයවීමේ වගකීමක් තියෙනවා. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසරයක් උදෙසා අප විසින් තිරසාර භාවිතයන් සහතික කළ යුතුයි.

අපගේ ප්‍රතිපත්තිමය විසඳුම් පාරිසරික හා සමාජීය වශයෙන් තිරසාර විය යුතුයි. අනාගත පරපුර සඳහා අපගේ ජීවන රටාව අප විසින් ආරක්ෂා කළ යුතු වෙනවා.  දැන් අවශ්‍යවන්නේ අපගේ පොදු ගැටලු විසඳාගැනීම සඳහා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීමයි.

මෙම ඉලක්කය කරා යාමට ස්වාභාවික සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා අපට උපකාරී වන භාවිතයන් සහ තාක්ෂණය අනුගමනය කිරීමට අප සූදානම් විය යුතුයි.

ඒ නිසා හරිත ආර්ථිකයක්” තුළ සේවාවන් සැපයීම පහසු කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම ශ්‍රී ලංකාව දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපගේ රජය රාජ්‍ය අංශයේ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම වේගවත් කර තිබේ.

ඊට අමතරව අප සියලු දෙනාම පොසිල ඉන්ධන මත යැපීම අඩු කළ යුතු වෙනවා.  පොසිල ඉන්ධන භාවිතය අඩුකරමින් පුනර්ජනනීය බලශක්තිය දක්වා යොමුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට සහයෝගය දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

නැගී එන ආසියාවේ පරිසර හිතකාමී තිරසර නගර බිහි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විශාල සහයොගයක් දිය යුතු යැයි අප විශ්වාස  කරනවා. එය නව ප්‍රවේශයක් වනවා මෙන්ම ඒ තුළින් විධිමත් ලෙස සම්පත් කළමනාකරණය සිදුවනු ඇත.

අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංශයක් වන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමයි. සාධාරණ සමාජයක් වෙනුවෙන් කාන්තාව ඉටුකරන තීරණාත්මක කාර්යය භාරය අප හඳුනාගත යුතුයි.

ආසියානු කලාපය මේ සම්බන්ධව සැළකිය යුතු ප්‍රගතියක සිටිය ද ඔවුන් වෙනුවෙන් තව තවත් සම්පත් යෙදවිය යුතු බව මම විශ්වාස කරමි.

මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා කඩිනමින් සාමාජික රටවල සහයට ඩොලර් බිලියන 20 ක් බෙදාහරිමින් ආසියානු සංවර්ධන බැංකුව දුන් සහයෝගය අපි සිහිපත් කළ යුතුයි.

එන්නත්කරනය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9ක්  ලබා දී ඇති අතර එම සහයෝගයට ආසියානු සංවර්ධන බැංකුව සඳහා ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගමි.

අප ඉදිරියේ ඇත්තේ භයානක අභියෝගයකි. කෙසේ වෙතත් අපට එක්ව මෙම අභියෝගයට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මුහුණ දීමට හැකියාව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ඇති බවත් මට විශ්වාසයි.

අවසාන වශයෙන්, ලබන වසරේ කොළඹ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීමට ඔබ සැමට ආරාධනා කිරීමට ලැබීම සතුටට කරුණකි.

මෙම වැදගත් සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර ඔබ සැමට ආරක්ෂිත සහ නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි.

තෙරුවන්සරණයි !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress