වහාම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න – කැෆේ එජාපයෙන් ඉල්ලයි
Posted on May 5th, 2021

මාධ්‍ය ඒ්කකය කැෆේ සංවිධානය

එක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මඟින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇතැයි කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ  පක්ෂ අභ්‍යන්තර  අර්බුද  නිසා එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

වහා ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සකු පත් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගරු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් වරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ. (අදාල ලිපිය මේ සමඟ අමුනා ඇත )

මහ මැතිවරණය පවත්වා මාස 7කට අධික කාලයක් ඉක්ම ගියද තවමත් ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අපොහොසත් වීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික අරාජිකත්වය  බවද හෙතෙම පෙන්වා දුන්නේය. 2020 අගෝස්තු 5 වෙනිදා පැවති මහ මැතිවරණයෙන්  ඡන්ද 249485 ක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ලැබූ 2.15% ක ඡන්ද ප්‍රතිශතය නිසා එක් ජාතික ලැයිස්තු මන්ත්‍ර ධුරයක් පමණක් හිමිවිය. නමුත් මේ වනතෙක් එම මන්තී ධුරය සඳහා සුදුස්සකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කොට නැත. ප්‍රකාශයට පත් කර ඇති එජාප ජාතික ලයිස්තුවට අනුව එහි මුලින්ම සඳහන් වන්නේ  ජෝන් අමරතුංග මහතාගේ නම වුවද එම නම් කිරීම මෙතෙක් සිදු කර  නොමැත. මෙම තත්වය නියෝජිත  ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කළ බලපෑමක් බව කැෆේ සංවිධානයේ අදහසයි.

මාධ්‍ය ඒ්කකය

කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress