පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි – ඌව පළාත් ආණ්ඩුකාරවර
Posted on May 19th, 2021

Media Unit

පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බව ඌව පළාත්  ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව නැවත දැනුම් දෙන තුරු රටේ සියලුම පාසල් වසා දමා ඇත. කෙසේ වෙතත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප සැමට විශාල වගකීමක් බව ඔහු පැවසීය.

ඌව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන ලද්දේ, තාක්ෂණ අංශයේ උපදෙස් අනුව ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාල අධ්‍යාපනය වඩාත් ඵලදායී කිරීම කෙරෙහි අපට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවන බවයි. කෙසේ වෙතත්, අපේ පළාත සම්බන්ධයෙන් ගත් කල, සියලු සිසුන්ට ස්මාර්ට් අධ්‍යාපනය ලබා දීමට බොහෝ බාධක තිබෙන බවත් මෙම අවස්ථාවේ දී අපට පහසුවෙන් සිසුන් වෙත ළඟා විය හැකි පළවෙනි මාර්ගය ලෙස ගුවන් විදුලිය අපිට හඳුනා ගත හැකි බවත් අපගේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේත් ගුවන්විදුලි නාලිකාවක් තිබීම අපිට වඩාත් ශක්තියක් වන බවත්‍ ය.

එම ගුවන් විදුලි නාලිකාව වඩාත් විධිමත්ව සිසුන් ආකර්ෂණය වෙන පරිදි අධ්‍යාපන වැඩසටහන් භාෂා තුනෙන්ම නිෂ්පාදනය කිරීමට වැඩි අවධානය යොමු කළ යුතු බවත් එමෙන්ම, පළාත් සභා නිල පුවත්පත මෙන්ම මුද්‍රිත මාධ්‍ය යොදාගනිමින් වඩාත් ඵලදායි පාසැල් අධ්‍යාපන වැඩසටහන් සකස්කිරීම සඳහා පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා පැවසීය.

එමෙන්ම පාසැල් නිවාඩු කාලය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මකව පවතින පාසල් ගොඩනැගිලි වල ඉතිරි ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින්ම අවසන් කරන්නයි අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී. බී. විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුනරත්න මහතා, පළාත් අධ්‍යාපන අංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු  අධ්‍යාපන අංශවල නිලධාරීන් එක්ව සිටියහ.

Media Unit – 19-05-2021

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress