කරාතේ හා ටෙනිස් ක්‍රීඩාවේ දියුණුවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ගිවිසුමක්
Posted on May 25th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව තුළ කරාතේ සහ ටෙනිස් ක්‍රීඩා ඉහළ නැංවීම සඳහා අදාළ සංගම් සමග ගිවිස ගැනීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා‌ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සමඟ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදීත් ටෙනිස් සංගමය සමග ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදීත් අදාළ ගිවිසුම්වලට එළැඹිණි.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් 05 අතරට කරාතේ සහ ටෙනිස් ක්‍රීඩාව ද ඇතුළත්ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම ක්‍රීඩාවන්හි එක් අවුරුදු උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  මෙම ගිවිසුම්ගතවීම හා මූල්‍ය ප්‍රදානයන් සිදුවිය.

කරාතේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 20,300,000/-ක මුදලක් ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයටත් ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට රුපියල් 19,464,000/-ක මුදලක් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයටත් මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරාතේ දෝ සංගමය සහ ටෙනිස් සංගමය වෙත මෙම මූල්‍ය ප්‍රදානය පිරිනමන ලදි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය වෙනුවෙන් එහි සභාපති එච්.එම්.සිසිර කුමාර මහතාත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය වෙනුවෙන්  එහි සභාපති බින් ඉසැක්  මහතාත්  අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.

මෙම අවස්ථාවන් සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ සහ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress